ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සෙෳඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක්

දිනය : 2023-12-08

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් 2023.12.05 පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්විය.

පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබිණි.

මෙහිදී ලන්ච් ෂිට් භාවිතය නිසා මෙරට සිදුවන පාරිසරික හානිය මෙන්ම ඒවායේ පවතින තැලේට් නම් පිළිකාකාරකය මිනිස් ජීවිතවලට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා විය. ඒ අනුව සෙෳඛ්‍යට හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා, එය භාවිතයෙන් ඉවත් කිරීමට සහ විකල්ප හඳුන්වාදීමට මාස 6ක සහන කාලයක් ලබාදී ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් ලබාදෙන ලදී. ලොව කිසිදු රටක ලන්ච් ෂීට් භාවිතා නොවන බව පෙන්වා දුන් පරිසර අමාත්‍යාංශ නිලධාරීහු ලන්ච් ෂීට් භාවිතයෙන් තොරවීමේ වැදගත්කම  කාරක සභාවට පෙන්වා දුන්හ.

පරිසර පනත සංශෝධනය සඳහා දැනට ඉදිරිපත්ව ඇති සංශෝධන කාරක සභාවේදී සලකා බැලූ අතර පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා විශේෂ කරුණු කිහිපයක්ම යෝජනා කර ඇති බව නිලධාරීහු මෙහිදී පැවසුහ. ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා නැවත එකතු කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන්නාටම ලබා දියයුතු බවට කාරක සභාව මෙහිදී යෝජනා කරන ලදී. ඒ අනුව නව තාක්ෂණයෙන් QR කේත භාවිතා කර විවිධ පරිභෝජන අවශ්‍යතා සඳහා  බෙදාහරිනු ලබන ප්ලාස්ටික් බෝතල් නැවත එකතු කර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එක්කරන්නේ ද යන්න සොයා බැලීමට ක්‍රමවේදයක් සකස් කිරීම පනත සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසූහ. එලෙස ප්‍රතිචක්‍රීකරණය සඳහා එම ප්ලාස්ටික් ‍බෝතල් නැවත ලබාදීම වඩාත් කාර්යක්ෂම කිරීමට නම් හිස් බෝතල්වලට යම් සැළකිය යුතු මුදලක් ලබා දියයුතු බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ලංකාවට දැනට ආනයනය කරනු ලබන එක් වරක් පමණක් භාවිතා කරනු ලබන ප්ලාස්ටික් උපකරණ හා ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා ලැයිස්තු ගතකර කාරක සභාවට මේ සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙසට ද අංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා  පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත කැටගොඩ, ගරු (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ, ගරු වරුණ ලියනගේ යන මහත්වරුන් ඇතුළු පරිසර අමාත්‍යාංශයේ,මධ්‍යම පරිසර අධිකාරියේ හා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීහු  පිරිසක්  සහභාගී වී සිටියහ.

 

9 8

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි