ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් මෙරට සාධාරණත්වය ඉෂ්ට වී නොමැති බැවින් ඉදිරියේදී ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් කිසිදු භේදයකින් තොරව පෙනී සිටිනවා - ආබාධ සහිත තැනැත්තන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ඩලස් අලහප්පෙරුම මහතා විශේෂ මාධ්‍ය හමුවේදී පවසයි

දිනය : 2023-12-02

  • මීළග ජාතික මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ද්‍රශ්‍යබාධිත අයවෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් (Tactile ballot paper) - මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් සහතිකයක්
  • මෙවර අයවැයෙන් වෙන්කළ මුදලින් ආබාධ සහිත ප්‍රජාවට ගැළපෙන බස්රථ යොදවා නියමු ව්‍යාපෘතියක් කිරීමටත් පාර්ලිමේන්තුවට යෝජනාවක්
  • පොදු ප්‍රවාහනයේදී මෙන්ම පොදු ස්ථාන ප්‍රවේශය සදහා මෙරට පහසුකම් නොමැති බැවින් ආබාධ සහිත ප්‍රජාවට විශාල අසාධාරණයක් සිදුවනවා - ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණ පෙන්වා දෙයි

 

ආබාධිත සහිත ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක්  යුක්තිය ඉෂ්ට වී නොමැති බව අප සැම දෙනාම පිළිගතයුතු සත්‍යක් බැවින් කිසිදු පක්ෂ පාට භේදයකින් තොරව ඒ සදහා ඉදිරියේදී පෙනී සිටින බව ආබාධ සහිත තැනැත්තන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

දෙසැම්බර් 03ට යෙදී ඇති ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් 2023.12.01 දින බත්තරමුල්ල වෝටර් එජ් හෝටල් පරිශ්‍රයේදී  සංවිධානය කර තිබූ මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයන්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිදුකළ ඉල්ලීමට අනුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල මන්ත්‍රීවරයන් දේශපාලන භේදයකින් තොරව පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම සංසදය පිහිටුවා ගත් බව සදහන් කළ සභාපතිවරයා ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් පෙනී සිටින බවට සහතික විය.

මෙවර අයවැයෙන් බස් රථ 600ක් මිලදී ගැනීම සදහා යෝජනාවක් පවතින බැවින් ඉන් බස්රථ කිහිපයක් හෝ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් මිලදී ගෙන නියමු ව්‍යාපෘතියක් කිරීම සදහා  ලබන 4 වැනිදා පාර්ලිමේන්තුවේදී යෝජනා කරන බවත් අලහප්පෙරුම මහතා පැවසීය. මෙම යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයට සිය ස්තූතිය පිරිනමන බවද සභාපතිවරයා පැවසීය.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් සදහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව 2006 වසරේ අත්සන් කළද දියුණු රටවලට සාපේක්ෂව අප බොහෝ පසුපසින් සිටින බව මෙහිදී සංසදයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව ප්‍රතිපත්ති සම්පාදනයේදී සාමූහිකව පෙනී සිටිමින් ආබාධිත ප්‍රජාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර සම්බන්ධීකරණය ඇති කිරීම ද සිය සංසදයේ අපේක්ෂාව බව ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

එසේම ආබාධ සහිත ප්‍රජාවගේ අවශ්‍යතාවන් විවිධ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ආදිය සමග බැදී ඇති බැවින් ඒ සියලු ආයතන එකතු කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ හඩ බවට පත්වීම මෙම නව සංසදයේ අරමුණ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා පවසා සිටියේ  මීළග ජාතික මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ද්‍රශ්‍යබාධිත අයවෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් (Tactile ballot paper)  ලබා දීමට පියවර ගන්නා බවයි. මීට පෙර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10ක නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන සාර්ථක වූ බවත් ඒ මහතා පැවසීය. එසේම ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සහ ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සදහා විශේෂ අවධානය යොමු කරන බවද පැවසීය. තවද ආබාධිත ප්‍රජාවට හැදුනුම්පතක් ලබා දීමටත් පියවර ගන්නා බවත් රත්නායක මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලී පතිරගේ මහත්මිය පැවසදුවේ  මෙරට ජනගහනයෙන් 8.7%ක් එනම් ලක්ෂ 16කට ආසන්න පිරිසක් ආබාධිත ප්‍රජාව බවයි. ඔවුන්ගේ  හඩ වෙනුවෙන් පාර්ලිමේන්තු සංසදයක් පසුගිය සැප්තැම්බර් 6 වැනි දින පිහිටුවන්න ලැබීම විශාල ජයග්‍රහණයක් බව ද ඇය පැවසීය. මෙරට ආබාධ සහිත තැනැත්තන්ට බස්රථ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනයේදී මෙන්ම ප්‍රවේශය සදහා බොහෝ පොදු ස්ථානවල මෙරට පහසුකම් නොමැති බැවින් විශාල අසාධාරණයක් සිදුවන බව ද ඇය පෙන්වා දුන්නාය. එසේම ආබාධ සහිත තැනැත්තන් විශාල වශයෙන් අපයෝජනයට ලක්වීම,   අධ්‍යාපනයට ඇති බාධාවන් පිළිබදව ද  ඇය අවධානය යොමු කළාය.

එබැවින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයීතීන් නෛතිකව බලගැන්වෙන නව පනතක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඇය ආබාධ සහිත තැනැත්තන් සදහා ද ‍දේශපාලනය තුළ නියෝජනයක් ලැබිය යුතු බවද පෙන්වා දුන්නාය. එසේම සංසදයේ  සභාපතිවරයා ඉතාම සංවේදී නායකයෙක් ලෙස ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් දක්වන දායකත්වය අතිශය අගය කරන බවද  පැවසුවාය.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් ගරු කරන යහපත් සමාජයක් බිහිකිරීම සදහා මාධ්‍ය සතු වගකීම ද මෙහිදී අවධාරණය කෙරිණි.

එසේම සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වී කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස්පෙළ ජීව විද්‍යා විෂය හදාරන  දෟශ්‍යාබාධිත ශිෂ්‍යයෙක් වන බ්‍රයන් කිංග්ස්ටන් මෙහිදී අදහස් දක්වමින් සිය ප්‍රජාවට අදාළ ගැටලු ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා බ්‍රේල් පහසුකම සහිතව සකස් කළ සිය ‍‍තොරතුරු පත (Visiting Card) සංසදයේ සභාපතිවරයාට සහ  බ්‍රයන් කිංග්ස්ටන් ශිෂ්‍යාට පිළිගැන්වීම ද සිදුවිය.

කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, එහි සම උපසභාපති ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය, ගරු කේ.පී.එස් කුමාරසිරි, ගරු උදයන කිරිදිගොඩ, පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, NDI ආයතනයේ අධ්‍යක්ෂ ශ්‍යාමා සල්ගාදු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

USAID ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ NDI ආයතනයේ සහයෝගයෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි