ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මෙරට භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස් ලබාගැනීමට අංශ කිහිපයක් ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවයි

දිනය : 2023-12-01

මෙරට භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස් ලබාගැනීමට විවිධ අංශ නියෝජනය කරන සංගම් කිහිපයක් භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවනු ලැබීය.

මේ අනුව මව්බිම සුරක්ෂා එකමුතුව, ජාතික පාරිභෝගික පෙරමුණ, එක්සත් සහයෝගීතා පෙරමුණ, කුරුදු අපනයන හිමියන්ගේ සංගමය, කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය, ඉදිකිරීම් සේවක සංගමය, සමස්ථ ලංකා කුලී නිවැසියන්ගේ සංගමය සහ පහත රට ඉඩම් හිමියන්ගේ සංගමය මෙම කාරක සභාව වෙත කැඳවා තිබුණි.

මෙම කණ්ඩායම් කැඳවා තිබුණේ භාණ්ඩ හා සේවා අපනයනය වැඩිදියුණු කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බුද්ධික පතිරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 28) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී මෙම එක් එක් අංශ තමන්ගේ යෝජනා සහ අදහස් කාරක සභාව වෙත ඉදිරිපත්කිරීම සිදු විය. මව්බිම සුරක්ෂා එකමුතුව කමිටුවට සඳහන් කළේ මෙරට කෘෂි ආර්ථිකය වැඩි දියුණු කළ යුතු බවත් විශේෂයෙන්ම ගෘහස්ථ කෘෂි ආර්ථිකය වැඩි දියුණු කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි.  ජාතික පාරිභෝගික පෙරමුණ පෙන්වා දුන්නේ වෙළඳපොළ භාණ්ඩ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අතරමැදියන් විශාල ලාභයක් ලබාගන්නා බවත් මෙම තත්ත්වය නැති කොට භාණ්ඩ නිෂ්පාදකයන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත්ය. එක්සත් සහයෝගීතා පෙරමුණ පෙන්වා දුන්නේ මෙරට අධ්‍යාපනයට නීතිය පිළිබඳ කොටසක් ඇතුළත් කිරීම වැදගත් වන බවයි.

කුරුදු අපනයන හිමියන්ගේ සංගමය පෙන්වා දුන්නේ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වන කුඩා පරිමාණ අපනයනකරුවන් දිරිමත් කළ යුතු බවයි. කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පෙන්වා දුන්නේ Uber, PickMe වැනි ජංගම යෙදවුම් (App) මෙරට තුළ සකස්කොට ක්‍රියාත්මක කිරීම විදේශ විනිමය මෙරට තුළ ඉතිරිකරගැනීමට හොඳ ක්‍රමයක් වන බවයි.

ඉදිකිරීම් සේවක සංගමය පෙනවා දුන්නේ අමුද්‍රව්‍ය මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යාම වැදගත් වන බවයි.  එසේම මිල ගණන් අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසද කමිටුවෙන් ඉල්ලා සිටීම සිදු කළේය. සමස්ථ ලංකා කුලී නිවැසියන්ගේ සංගමය සඳහන් කළේ බහුතරයක් කුලී හිමියන්ට මේ රටේ ඡන්ද අයිතිය නොමැති බවයි. එසේම දරුවන් පාසැලකට ඇතුළත් කිරීමේදී විශාල ගැටලු සංඛ්‍යාවක් පවතින බවයි. තවද බැංකු ණයක් ලබාගැනීම අපහසු තත්ත්වයක පවතින බවයි. මේ නිසා මේ වෙනුවෙන් විසදුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඔවුහු පෙන්වා දුන්හ.

පහත රට ඉඩම් හිමියන්ගේ සංගමය පෙන්වා දුන්නේ තේ කර්මාන්තය මේ වන විට අඩපණ වී ඇති බවත් මේ කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බවත්ය.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා මෙම කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය පාර්ශ්වවල අවධානය යොමු කරවන බව සඳහන් කළ අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් පැමිණ සිටි රජයේ නිලධාරීන්ගේ අවධානයට යොමු කරවීමද සිදු කළේය.

මෙම කාරක සභාව සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් සම්බන්ධවීම සිදු විය.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි