ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටුකිරීම සම්බන්ධයෙන් ‘කෝපා’ කමිටුවේ අවධානය

දිනය : 2023-12-01

මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටුකිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 27) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී දීර්ඝ වශයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටුකිරීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව කටයුතු කරන ආකාරයත්, අයවැයෙන් මෙම ආයතනය සඳහා වෙන් කෙරෙන මුදල් වියදම් වන ආකාරයත් සාකච්ඡා කෙරුණි.

එසේම මෙහිදී කාරක සභා සභාපතිවරයා  පෙන්වා දුන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් රටේ ජනතාව සතු වන බවත් එබැවින් එම විශ්වාසය ආරක්ෂා කිරීම කොමිෂන් සභාවේ වගකීමක් බවත්ය.

තවද දැනට මෙම කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ අතර පවතින පුරප්පාඩු ඉක්මනින් පිරවීමට කෝපා කමිටුව නිර්දේශ කළේය.

මීට අමතරව UNDP ආයතනය විසින් මෙම කොමිෂන් සභාවට ලබාදුන් දත්ත පද්ධතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳවද කමිටුව විමසා සිටියේය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම දත්ත පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් ප්‍රාදේශීය කාර්යාලවලින් දත්ත ඇතුළත් කිරීමේ දුර්වලතාවක් පෙන්නුම් කරන බවත්ය. මේ නිසා ප්‍රාදේශීය වශයෙන් දත්ත ඇතුළත් කිරීමට නිලධාරීන් යොදවන බවත් පැමිණි නිලධාරීන් පැවසීය. මෙහිදී කමිටුව සඳහන් කළේ අවශ්‍ය නිලධාරීන් මේ වෙනුවෙන් යෙදවීමට ඉක්මනින් කටයුතු කරන ලෙසයි.

එසේම මේ වන විට මෙම කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව සහ දැනට විසඳා ඇති පැමිණිලි සංඛ්‍යාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි. මේ අනුව දැනට විසඳා නොමැති පැමිණිලි සංඛ්‍යාව විසඳීමට ඉක්මනින් කටයුතු කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙන ලදි.

තවද 2024 ජනවාරි 24 දින මෙම කොමිෂන් සභාව නැවත කෝපා කමිටුවට කැඳවීමට තීරණය කෙරුණි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර, ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගරු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු ජේ.සී. අලවතුවල, ගරු අශෝක් අබේසිංහ, ගරු වීරසුමන වීරසිංහ සහ මුදිතා ප්‍රිශාන්ති යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි