ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“වර්තමානයට ගැලපෙන පරිදි පළාත් පාලන නීති සංශෝධනය සඳහා අනු කමිටුවක් පත්කිරීමට පියවර ගන්නවා” - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

දිනය : 2023-11-29

සියවසකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වන පළාත් පාලන නීති වර්තමාන සමාජ අව්‍යශතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අනු කමිටුවක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ පසුගියදා (නොවැ. 27) පැවතී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමිනි.

පළාත් පාලන ආයතනවල සේවාවන් වඩා ඵලදායීව ඉටු කිරීම සඳහා එම ආයතනවල පුහුණු හා අත්දැකීම් සහිත නිලධාරීන් ස්ථාන මාරුවීම බරපතල ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති බැවින් පළාත් පාලන විශේෂඥ දැනුම සහිත නිලධරයෙකු ලේකම්ධුරයට පත් කිරීමටත් අදාළ පළාත් පාලන ආයතනවල එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මුදල් වැය කොට පුහුණු අවස්ථා ලබාගත් නිලධාරීන් පළාත් පාලන ආයතන අතර පමණක් ස්ථාන මාරු කිරීමටත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහතා විසින් ගෙන ආ යෝජනාව හා වර්තමානයේ සිදුවන වේගවත් නාගරීකරණය හමුවේ පළාත් පාලන නීතිවල සිදුවිය යුතු යම් යම් වෙනස්වීම් සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම සඳහා මෙම අනු කමිටුව පත් කිරීමට නියමිතය.

වර්තමානයේදී මහජන නියෝජිතයන් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතනවල දෛනික කටයුතු වඩා ජනතාවාදී ලෙස ඉටු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කර ඇත. විශේෂයෙන් ස්වාභාවික ආපදා හා ඩෙංගු උවදුර වැනි ගැටලුවලදී ඇතැම් පළාත් පාලන ආයතන මන්දගාමීව කටයුතු කිරීම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බවත්, ඉදිරියේදී එම තත්වය අවම කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරු සිදුකිරීමේදී කොට්ඨාෂ තුළ සේවය කළ හැකි උපරිම කාලය වසර 6ක් ලෙසත්, දිස්ත්‍රික්කය තුළ සේවය කල හැකි උපරිම කාලය වසර 10ක් ලෙසත් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. මඩකලපුව දිස්ත්‍රික්කයේ දීර්ඝ කාලයක් එකම ස්ථානයක සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරුන් ජන වාර්ගිකත්වයට හානියක් නොවන ලෙස දිස්ත්‍රික්කය තුළ ස්ථාන මාරු සිදු කිරීමට කටයුතු කරන ලෙස කේ. කරුණාකරම් මන්ත්‍රීතුමා සිදු කරන ලද යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් දුන්නේය.

පළාත් සභා තුළ දීර්ඝ කාලයක් සේවය කරන පරිපාලන සේවයේ නිලධාරීන් හට විශේෂ වරප්‍රසාදයක් ලබා දීමකින් තොරව සෙසු රාජ්‍ය නිලධාරීන් හා සමානව ස්ථාන මාරුවීම් ක්‍රියාවලියට ඇතුල් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී.

2024 වර්ෂයේ පළාත් සභා වෙත වෙන් කරන මුදල් එක් එක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය සහිතව වැය කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

අග්‍රාමාත්‍යවරයාගේ වව්නියාව සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රමාදව පැවතී උප්පැන්න හා මරණ සහතික නිකුත් කිරීම දැනට වේගවත්ව සිදු කරන බවත්, ඒ පිළිබඳ අග්‍රමාත්‍යතුමාට විශේෂ ස්තූතියක් ලබාදිය යුතු බවත් කේ. දිලීපන් මන්ත්‍රීතුමා සඳහන් කරන ලදී.

අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ගරු ජානක වක්කුඹුර, ගරු අශෝක ප්‍රියන්ත මහතා ඇතුලු රාජ්‍ය අමාත්‍යවරු, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, අදාළ රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු නිලධාරීහු රැසක් සහභාගී වූහ.

 

1 2

3 /p>

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි