ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වර්තමාන තරඟකාරී වෙළඳපොළ තුළ ලං.ග.ම. බස්රථ සඳහා ටයර් මිලදී ගැනීම ගැටලු සහගත තත්ත්වයක පවතින බව ‘කෝපා’ කමිටුවේදී අනාවරණය වෙයි

දිනය : 2022-07-07

  • ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය මැදිරි 160න් 103ක් තවම භාවිතයට යොදවා නැහැ
  • ඇතැම් පෞද්ගලික බස් රථ සඳහා නිකුත් කරන ඩීසල් වැඩි මිළට අළෙවිකරන බව අමාත්‍යාංශ නිලධාරීන් හෙළි කරයි

 

මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වර්තමාන තරඟකාරී වෙළඳපොළ තුළ ලං.ග.ම. බස්රථ සඳහා ටයර් ඇතුළු අනෙකුත් උපාංග මිලදී ගැනීම ගැටලු සහගත තත්ත්වයක පවතින බව කෝපා කමිටුවේදී අනාවරණය විය.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය යටතේ පොදු මහජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවාවන් සැපයීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ සැලසුම්කොට ඇති වර්තමාන සහ අනාගත සැලසුම් පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එම කාරකසභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරන මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්  ඉදිරිපත් කිරීමක් (Presentation) සහිතව මෙම අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව කාරක සභාවට පැහැදිලි කළේය. මේ අවස්ථාවේදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් බස්රථවල ගුණාත්මකභාවය සහ බස්රථ ධාවනයේ යෙදවීමේ ගැටලු පිළිබඳව විමසන ලදි. ඊට පිළිතුරු දෙමින් නිලධාරීන් පෙන්වා දුන්නේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වර්තමාන තරඟකාරී වෙළඳපොළ තුළ බස්රථ සඳහා අවශ්‍ය උපාංග මිලදීගැනීම ගැටලු සහගත වී ඇති බවයි. විශේෂයෙන්ම ටෙන්ඩර් කැඳවා මිලදී ගැනීම් සිදු කිරීමේදීද ගැටලු ඇති වී තිබෙන බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.

එසේම රාජ්‍ය ප්‍රවාහන සේවය තවත් දියුණු විය යුතු උවද රාජ්‍ය ආයතනයකට වර්තමාන මිල ගණන් යටතේ උපකරණ මිලදීගෙන ලාබ ලබාගැනීම ගැටලු සහගත තත්ත්වයක් වී ඇති බවද ඔවුහු පැවසූහ.

තවද 2017 වර්ෂයේදී ඉන්දීය ණය සහනාධාර යටතේ මෙරටට ගෙන්වීමට සැලසුම් කොට තිබූ දුම්රිය මැදිරි වසර ගණනක් ප්‍රමාදවී ගෙන්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම මෙසේ මිලදීගත් දුම්රිය මැදිරි 160න් 103 ක් භාවිතයට නොගැනීම පිළිබඳව කෝපා කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. ඒ අනුව නිලධාරීන් පැවසුවේ මෙරට ක්‍රියාත්මක වන්නේ වැකියුම් බ්‍රේක් (Vacuum Break) ක්‍රමවේදය බවත් මෙම ඇතැම් දුම්රිය මැදිරි එයා බ්‍රේක් (Air Break) ක්‍රමවේදයේ ඒවා බවත්ය. මෙහිදී මන්ත්‍රීවරුන් විමසුවේ නොගැලපෙන දුම්රිය මැදිරි ගැනීම සඳහා අනුමතිය ලබාදුන්නේ කවුරුන්ද යන්නයි. මේ අනුව එම ගත් තීරණ සඳහා නිලධාරීන් වගකිවයුතු බව මෙහිදී සඳහන් විය.

එසේම මෙහිදී මෙම දිනවල ලං.ග.ම. බස් ඩිපෝවලට අයිති තෙල් පිරවුම්හල් මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා විය. විශේෂයෙන් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ඇතැම් පෞද්ගලික බස් රථ මෙම තෙල් පිරවුම්හල් වලින් ඩීසල් ලබාගෙන ඒවා වැඩි ගණනට විකුණන බවයි. ඔවුහු පැවසුවේ ඇතැම් විට බස් රථ මාර්ගයේ ධාවනය කිරීමට වඩා ඩීසල් වැඩි මිලට විකිණීම බස් හිමියන්ට ලාබ බැවින් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ මෙම තත්ත්වය පාලනය කොට මහජනතාව අපහසුතාවට පත්වීම වළක්වාලිය යුතු බවත් මෙසේ තෙල් ලබාගන්නා බස්රථ ධාවනයේ යෙදෙන්නේද යන්න පිළිබඳව පරීක්ෂාකිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත්ය. විශේෂයෙන්ම ජී.පී.එස්. තාක්ෂණය බස්රථ සඳහා යෙදවීම පිළිබඳව මෙහිදී සකච්ඡා විය.

මීට අමතරව 2017 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රධාන මත සැලසුම් කළ ශ්‍රී ලංකා දුම්රිය ප්‍රධාන සැලැස්මට ඇ.ඩො. 1,056,555 ක් වැය කළද එම ප්‍රධානයන් අමාත්‍යාංශයේ අයවැය තුළ හෝ මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් නොවීම පිළිබඳවද මෙහිදී අනාවරණය විය. මේ අනුව මේ පිළිබඳ වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙස නිර්දේශ කළේය. තවද දුම්රිය ප්‍රවාහන කටයුතු නව තාක්ෂණය සමග මුසු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු ලසන්ත අලගියවන්න, ගරු දයාසිරි ජයසේකර, (වෛද්‍ය) ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු නිරෝෂන් පෙරේරා, ගරු දුමින්ද දිසානායක, ගරු වීරසුමන වීරසිංහ, (වෛද්‍ය)  ගරු උපුල් ගලප්පත්ති, බී.වයි.ජී. රත්නසේකර සහ (ආචාර්ය) ගරු හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි