ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රටේ මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වේ

දිනය : 2022-06-22

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

විශේෂයෙන්ම රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට  මාර්ගගත ක්‍රමය ඔස්සේ ආයතන කිහිපයක් නියෝජනය කරන නිලධාරීන් සම්බන්ධකරගැනීම මෙහිදී සිදු විය. මේ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් මෙසේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධකර ගැනීම සිදු විය.

මෙහිදී  ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළඟාවීමේදී ගැටලු කිහිපයක් ඇති වී තිබෙන බවත්  මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතු වී ඇති බවත් මෙම නිලධාරීන් සඳහන් කළේය. එසේම මත් පැන් මිල වැඩිවීම සහ ජනතාවට ආර්ථික අපහසුතා පැවතීම යන කරුණු නිසා මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. මේ නිසා නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවනතාවක් මේ වන විට ඇති වී තිබෙන බව අනාවරණය විය.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත අදායම් සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී. විශේෂයෙන්ම විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමේදී කටයුතු කරන ආකාරය සහ බදු පරිපාලනය වැඩි දියුණු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ නිලධාරීන් සමඟ එතුමා සාකච්ඡා කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වන ආදායම පිළිබඳවද මෙහිදී සවිස්තරව සාකච්ඡා කරීම සිදු කරන ලදී.

මෙම කාරක සභාව සඳහා අමාත්‍ය ගරු නලීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා, ගරු අනූප පැස්කුවෙල් සහ (වෛද්‍ය) ගරු කාවින්ද හේෂාන් ජයවර්ධන යන මහත්වරු ද සහභාගී වූහ.

 

1 2

3 4

5 6

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි