ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට වසර 10 ක් සඳහා වූ නිශ්චිතව හඳුනාගත් සංවර්ධන සැලැස්මක් සකසන්න - ‘කෝපා’ කමිටුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙයි

දිනය : 2022-06-17

රටේ ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් වසර 10 සඳහා වූ නිශ්චිත ආර්ථික සංවර්ධන සැලැස්මක් සකසන ලෙස කෝපා කමිටුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට  මෙම උපදෙස් ලබාදුන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
 
මෙම කාරක සභාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුමතිය ලබාගැනීමට ඇති ව්‍යාපෘති, දැනට අනුමතිය ලැබුණද අතරමග නැවතී ඇති ව්‍යාපෘති සහ වර්තමාන ආර්ථික තත්ත්වය මගහරවාගැනීමට මෙම දෙපාර්තමේන්තුවේ පවතින ඉදිරි සැලසුම් ආදිය පිළිබඳවයි.

මෙහිදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේ දේශපාලන අධිකාරිය වෙනස් වුවද රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වෙනස් නොවෙමින් වසර 10 ක් ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිතව හඳුනාගත් සංවර්ධන සැලැස්මක් පැවතිය යුතු බවයි. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට අනුමතිය ලබාගත යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම කාරක සභාව සඳහා සහභාගී වූ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වාදුන්නේ දේශපාලන අධිකාරියේ බලපෑමකින් තොරව ක්‍රියාත්මක වීම සඳහා මෙවැනි ජාතික සැලැස්මක් සකස්කිරීමට සුදුසුම කාලය මෙය බවයි. මෙහිදී කෝපා සභාපතිවරයාද පෙන්වා දුනනේ දේශපාලන අධිකාරිය වෙනස් වුවද රටක් වෙනස් නොවන නිසා රටේ සංවර්ධනයට නිශ්චිත ආර්ථික සැලසුම් අවශ්‍ය වන බවයි.

එසේම ඇතැම් සංවර්ධන ව්‍යාපෘති අතරමග නැවතීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ විධායකයේ තීරණ මත මෙලෙස ඇතැම් ව්‍යාපෘති අතරමග නැවැත්වීමට සිදු වූ බවයි. ඒ සඳහා බලපෑම් කිරීමට නිලධාරීන්ට නොහැකි බවද ඔවුහු පෙන්වා දුන්හ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ දේශපාලන අධිකාරිය වැරදි තීරණයක් ගන්නේ නම් එය පෙන්වාදීමට නිලධාරීන් කටයුතු කළ යුතු බවයි. එවැනි කටයුත්තකට නිලධාරීන්ට සම්බන්ධවී උපදෙස් දීමට ක්‍රමවේදයක් නොමැතිනම් එය සකස්කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා කෝපා කමිටුව අවශ්‍ය සහයෝගයක් ලබා දෙන බවයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට සැලසුම් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු ලසන්ත අලගියවන්න, ගරු දයාසිරි ජයසේකර, (වෛද්‍ය) ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, (ආචාර්ය) ගරු හරිනි අමරසූරිය, ගරු දුමින්ද දිසානායක, ගරු නිරෝෂන් පෙරේරා, ගරු එස්. ශ්‍රීතරන්, ගරු බී.වයි.ජී. රත්නසේකර, (වෛද්‍ය) ගරු උපුල් ගලප්පත්ති, ගරු වීරසුමන වීරසිංහ, ගරු අශෝක් අබේසිංහ සහ ගරු ප්‍රසන්න රනවීර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි