ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානයට

දිනය : 2022-06-10

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් 2022 මැයි මස 17 වන දින ඉදිරිපත් කරන ලද 2009 අංක 20 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ පසුගියදා (07) විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ අවධානයට යොමු විය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වූ අතර ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය පිළිබඳ තවදුරටත් විවෘත සාකච්ඡාවක් සිදු කිරීම වැදගත් වන බව කාරක සභාව හමුවේ එතුමා ප්‍රකාශ කළේය.  තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගරු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙම සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශවකරුවන්, සේවකයින් මෙන්ම සෙසු ආයතන සමඟ සාකච්ඡා කර වඩාත් නිවැරදි තීරණයන්ට එළැඹීම වැදගත් වන බවයි.

මෙම කෙටුම්පත අනුමත කිරීමට ‍පෙර, ඒ සම්බන්ධයෙන් වූ සියලු කරුණු පැහැදිලි කරගැනීම වැදගත් බවත්, මෙම කටයුත්ත ප්‍රමාද කිරීමකින් තොරව, වගකීම් සහගතව නිවැරදි දේ සිදු කිරීම වැදගත්වන බවත් කාරක සභා අවස්ථාවට පැමිණි ගරු අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානයට යොමු විය. මෙහිදී පනත පමණක් නොව තාක්ෂණික හා නෛතික කාරණා සම්බන්ධයෙන්ද තවදුරටත් අවධානයට ගත යුතු බවද කාරක සභාවේ අවධානයට යොමු විය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සිදු කිරීමේදී විදේශීය ආයෝජකයින් මෙන්ම දේශීය ආයෝජකයින්ද දිරිමත් කිරීම වැදගත් වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමා කාරක සභාව හමුවේ පැහැදිලි කළ අතර විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ කමිටුවක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය වන අයුරින් සිටීම වැදගත් වන බවද කාරක සභාව හමුවේ අවධානයට යොමු කළේය.  

එමෙන්ම, පවතින විදුලිබල අර්බුදය සඳහා විසදුමක් වශයෙන් රටෙහි ස්වාභාවිකව පවතින ජලය සහ සුළං නිසි අයුරින් යොදා ගැනීමට කඩිනම් සැලැස්මක් ක්‍රියාත්මක කිරිම වැදගත් බවත්, පියැසි මත සෝලා පැනල කට්ටල සවි කිරීමේ ව්‍යාපෘති  තවදුරටත් ශක්තිමත් කර  පුනර්ජනනීය බල ශක්තිය වැඩි කිරීමට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත්  තවදුරටත් කාරක සභාවේ අවධානයට යොමු වූ අතර ඒ සඳහා වූ සැලැස්ම ඉදිරියේදී සභාගත කිරීමට බලාපොරොත්තු වන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේය.

පවතින තෙල් අර්බුදය හමුවේ ධීවර වරායන්ට අවශ්‍යවන භූමිතෙල් සහ ඩීසල් ලබා දීමට නිසි වැඩපිළිවෙලක් ගෙන ඇති බවද ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලය සිඳී යෑමේ ගැටලුව සම්බන්ධයෙන්ද සභාවේ අවධානයට යොමු විය.  එමෙන්ම වැසිගිය සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡා කර නිසි විසදුමක් ලබාදීම සම්බන්ධයෙන්ද, තෙල් ලබා දීමේදී සමූපකාර ඉන්ධන පිරවුම්හල් සඳහාද ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබද අවධානය යොමු විය.

ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව සඳහා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් මෙන්ම රජයේ  උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි