ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මෙරට ළමුන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනමින් කළ යුතුයි - ‘කෝපා’ කමිටුව අවධාරණය කරයි

දිනය : 2022-05-26

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් මෙරට ළමුන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත්, ඒ සඳහා නිසි මඟ පෙන්වීම් කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාව අවධාරණය කර සිටියි.  

තවද මෙම විෂය සම්බන්ධයෙන් පළාත් සභා වෙත අරමුදල් ලබා දීමේදී විෂමතාවයකින් තොරව මුදල් ලබා දීම සඳහා අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවද පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

එසේම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී සෑම අධිකරණ කලාපයක් සඳහාම පරිවාස කාර්යාලයක් ස්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස ද කාරක සභාව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත නියෝග කොට තිබේ.

ළමුන් සම්බන්ධයෙන් අදාළ වන්නා වු කුලවද්දා ගැනීමේ ආඥා පනත ඇතුළු නීති සහ අණ පනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන කෝපා කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කොට ඇත්තේ මෙම පනත් කාලීන අවශ්‍යතාවට අනුව කඩිනමින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ අණපනත් සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බවත් ළමා හා යෞවන ආඥා පනත සම්බන්ධ නීති සංශෝධනය අවසන් අදියරේ පවතින බවත්ය.

අන්තර්ජාලය භාවිතා කිරීමෙන් ළමුන් ගොදුරුවන අපචාර වලින් ඔවුන් මුදවාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට මැදිහත් වන ලෙසද කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබේ.

ළමා අපරාධ සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් සිද්ධි වාර්තාකරණයේදී සිදුකරනු ලබන අක්‍රමිකතා මගහරවා සමාජ හිතකාමී මාධ්‍ය වාරණයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කාරක සභාව විසින් නියෝග කරන ලදි. මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍ය නියාමනය සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමියන්ගේ සංසදයේ මැදිහත් වීමේන් කමිටුවක් පත් කර ඇති බවත්, එම කටයුතු කඩිනමින් සිදු කරනු ලබන බවත් මෙහිදී අනාවරණය විය.

මේ කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතා විසින් පසුගියදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාවේ ය.

2021.08.04 සිට 2021.11.19 දක්වා කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට අන්තර්ගත වේ.

 

 රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව (9 වැනි පාර්ලිමේන්තුව, 2 වැනි සභාවාරය)

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි