ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගුවන්යානා කුලියට ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල් දමන ලෙස ‘කෝප්’ කමිටුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නිර්දේශ කරයි

දිනය : 2022-04-25

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් 2022-2025 අතර කාලය සඳහා  ගුවන්යානා 21 ක්  කුලියට ගැනීම සම්බන්ධව ප්‍රසම්පාදන ක්‍රියාවලිය  තෙමසකට කල්දමන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා  එම සමාගමට අද (25) නිර්දේශ කළේය.

ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳ සමාලෝචනය කරන ලෙසත් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේද යන්න සොයාබලන ලෙසත් සංචාරක අමාත්‍යාංශයේ සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් නිසි පරිදි සකස් කිරීම සහ අදාළ ප්‍රසම්පාදනය කැබිනට් අමාත්‍යවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර කැබිනට් තීරණයක් ලෙස  සිදු කරන ලෙසත් කෝප් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය.

ගුවන්යානාවල සේවා කාලය අවසන්වන විට ඒ සදහා ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම ගුවන් සේවය පවත්වාගෙන යාම සදහා  අතවශ්‍ය  කාරණයක් බව පිළිගන්නා නමුත් රටේ වත්මන් ආර්ථික අර්බුදකාරි තත්ත්වය හමුවේ ඒ පිළිබඳවත් වඩා අවධානයක් යොමු කරමින් අදාළ අවශ්‍යතා සපුරා ගැනීම වැදගත් බව කමිටුව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ගුවන්යානා කුලියට ගැනීම සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ සාකච්ඡාව හේතුවෙන් ඇතිවූ යෝජනාවක් මත අද දින (25) කෝප් කමිටුව හමුවට එම ආයතනය කැඳවා තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැනට පවතින ගුවන් යානා 24 න්  කිහිපයක් ඉදිරි  කාලය තුළ අඩුවන බවත් ගුවන් යානා ලබාගැනීම ක්‍ෂණිකව කළ නොහැකි නිසා මෙම ක්‍රියාවලියට යම් කාලයක් ගතවන බැවින් නිසි පරිදි එම කටයුතු අරඹා දැන්වීම් පළ කළ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් පෙන්වා දුන්හ. මේ අනුව අදාළ වෙළද‍පළ තත්ත්වය සලකාබලා මෙම ක්‍රියාවලිය සඳහා මාස 6 – 12 අතර කාලයක් ගතවන බවත් වඩාත් විනිවිදභාවයකින් යුතුව අමාත්‍යාංශය හරහා මෙම කටයුතු සිදු කරන බවත් පතිරගේ මහතා පැවසීය.

එසේම රටේ කළමනාකාරීත්වය පිළිබඳව ඉහළ පරිචයක් ඇති වෘත්තිකයන් පිරිසක් එක්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉහළ තත්ත්වකට ගෙන ඒමට දරන උත්සහය අගය කරන බවද කෝප් සාමාජිකයෝ මෙහිදී පැවසූහ.

පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ විශාල සේවක කප්පාදුවක්ද සිදු කර සේවක වැටුප් අඩු කිරීමටද සිදු වූ බව පෙන්වා දුන් ගුවන් සමාගමේ සභාපතිවරයා සිය සේවක මඩුල්ල ආයතනයේ අභිවෘද්ධිය සදහා දක්වන දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන බවද පැවසීය.

අමාත්‍ය ගරු නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍යවරුන් වන  ගරු ඩී. වී. චානක, ගරු ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු මහින්ද අමරවීර, ගරු පාඨලී චම්පික රණවක, ගරු හර්ෂ ද සිල්වා, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරු එස්. එම්. මරික්කාර්, ගරු මධුර විතානගේ, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරුද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු ඉහළ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

34

<a href="/files/i

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි