ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අදාළ ආයතන සම්බන්ධ කරමින් පරිගණක දත්ත පද්ධතියක් සැකසීම කඩිනමින් කරන්න - 'කෝපා' කමිටුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ

දිනය : 2022-04-20

සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් සුරාබදු ආදයම් ගණනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සදහා වන පරිගණක දත්ත පද්ධතිය සකස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිර්දේශ කළාය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ 2020 වර්ෂය සදහා වූ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමසීම සඳහා මහාචාර්ය ගරු තිස්ස විතාරණ මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (19) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී  මෙම නිර්දේශය ලබා දෙන ලදී.

මේ වන විට මෙම පරිගණක පද්ධතිය සැකසීමේ මූලික කටයුතු ආරම්භ වී ඇති බවත් 2023 ජනවාරි වන විට මෙම කටයුතු අවසන් කිරීමට හැකිවන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා මෙහිදී කමිටුවට පැවසීය. මොරටුව විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ‍අදාළ මිල ගණන් කැදවා සුදුසු පරිදි මෙම කටයුතු සිදු කරන ලෙස ‍මෙහිදී කමිටුව විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට  උපදෙස් ලබා දෙන ලදී. සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වැඩපිළිවෙළ අගය කළ කම්ටුව පෙන්වා දුන්නේ මේ හරහා රටට ආදායම් ලැබෙන ප්‍රධානතම ආයතනයක් වන සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටත් ඒ හරහා ලැබෙන ආදායම විශාල වශයෙන් වැඩිකර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇති බවයි.

එසේම ඇතැම් රාජ්‍ය ආයතනවලට මෙලෙස පරිගණක පද්ධතියක් සකස්කරගෙන කටයුතු විධිමත් කරන ලෙස වසර ගණනාවක් මුළුල්ලේ දැනුම් දුන්නද තවමත් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම කනගාටුවට කරුණක් බවද කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු  මෙහිදී පෙන්වා දුන්හ.

එසේම රජයේ ආදායම වර්ධනය කිරීම සඳහා වූ මත්පැන් බෝතල් හා මත්පැන් බෝතල් ආශ්‍රිත නිෂ්පාදන සදහා  ආරක්ෂිත ස්ටිකර් කළමණාකරණ පද්ධතිය පවත්වාගෙන යාමේ ප්‍රගතිය පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී අනාවරණය වූයේ මෙම ස්ටිකර් කළමණාකරණ පද්ධතිය හඳුන්වා දීම නිසා පසුගිය වසරේ මුල් මාස තුන තුළ පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම 17% කින් වැඩිවී ඇති බවයි.

එසේම මත්පැන් අපනයනය මත සුරාබදු අවකරණය  කිරීම  සම්බන්ධ තොරතුරු ආදායම් අංශයේ හා ගිණුම් අංශයේ ලේඛනගත කර පවත්වාගෙන නොයාම ඇතුළු කළමනාකරණ දුර්වලතා පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වූ අතර හැකි ඉක්මනින් ඒවා නිවැරදි කරගන්නා ලෙස අවශ්‍ය උපදෙස් ලබා දුන්නාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු උදය ගම්මන්පිල, ගරු ලසන්ත අලගියවන්න, ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු ප්‍රසන්න රණවීර, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ ගරු වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි