ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

දිනය : 2022-03-23

  • මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළට
  • වසංගත තත්ත්ව සහ මහජන හදිසි තත්ත්ව වලදී සිදු කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග එකතු කළ අගය මත බද්දෙන් නිදහස්

 

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරිම සඳහා වන පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමත විය. එසේ අනුමැතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයන් ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ අංක MF/FP/32/CM/2021/212 හා 2021 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් බදු ප්‍රතිපත්ති යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත පිළියෙල කර තිබේ.

ඒ අනුව 2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත. එයට අමතරව ඕනෑම වසංගත තත්ත්වයක් හෝ මහජන හදිසි තත්ත්වයකදී රජයේ රෝහල් හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග පමණක් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරිම සඳහා මෙම සංශෝධනය මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.

මෙම බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ අදහස වූයේ  රට තුළ බදු අයකර ගැනීමේ ක්‍රියා‍වලියේ යම් අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදු කිරීමේදී ඒ පිළිබඳ නිසි ආර්ථික විශ්‍ලේෂණයක් සිදු කළ යුතු බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ තුර්කි ජනරජයේ ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මඟහැරීම වැළැක්වීම සඳහා වූ ගිවිසුම සඳහා ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරයන් වන ගරු නාලක ගොඩහේවා, ගරු කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ඩිලාන් පෙරේරා, මහාචාර්ය ගරු රන්ජිත් බණ්ඩාර,ගරු නලීන් ප්‍රනාන්දු, ගරු හර්ෂ ද සිල්වා, ගරු සුරේන් රාඝවන්, ගරු මුජිබර් රහුමාන්, ගරු ඉසුරු දොඩංගොඩ යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.   

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි