ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සමුද්‍රයට වගකියන ප්‍රධාන ආයතනයක් ලෙස පනත කඩිනමින් සංශෝධනය කොට නෛතික ශක්තිමත් බව වැඩිකරන්න - ‘කෝප්’ කමිටුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම් දෙයි

දිනය : 2022-03-14

  • MT New Diamond නෞකාවේ අනතුරෙන් මෙතෙක් නොලැබුනු මිලියන 3480 ක මුදල ලබා ගැනීම කඩිනම් කිරීමට උපදෙස්
  • අධිකාරියේ නීති අංශය තුළ ඇති වී ගැටලුකාරී තත්ත්වය පිළිබඳ වහාම පරීක්ෂණයක් කොට අවශ්‍ය පියවර ගැනීමට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ
  • 2012 වසරේ මුහුදුබත් වූ “Thermophile” නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම වසර 10 ක් තිස්සේ ප්‍රමාදවීම ගැන වාර්තාවක් ලබා දීමටත් නිර්දේශ

 

මෙරට සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීමක් දරන සමුද්‍රීය පරිසර ආරක්ෂණ  අධිකාරියේ නෛතික බලය ශක්තිමත් කිරීම සඳහා 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම කඩිනම් කරන ලෙස පසුගියදා (11) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම අධිකාරියට දැනුම් දුන්නේය.

මේ වන විට ඒ සඳහා කටයුතු කරමින් පවතින බව අධිකාරියේ නිලධාරීහු පැවසූ අතර මෙම පනත සංශෝධන  අතිශය කාලීන අවශ්‍යතාවක් බැවින් තවදුරටත් ප්‍රමාදයකින් තොරව වහාම ඒ සඳහා කටයුතු කරන ලෙස වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි මහතා ඇතුළු නිලධාරීන්ට කෝප් කමිටුව උපදෙස් ලබා දුන්නේය. එසේම නෛතික කටයුතුවලට සම්බන්ධ ආයතනයක් ලෙස එහි නීති කළමණාකරු ඇතුළු නෛතික අංශයේ  කාර්යභාරය මීට වඩා පුළුල් විය යුතු  බව පෙන්වා දුන් කමිටුව අභ්‍යන්තර ගැටලු පවතීනම් ඒවා විසදාගෙන ඒ සඳහා වහාම මැදිහත්ව කටයුතු කරන ලෙස අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මියට උපදෙස් ලබා දුන්නේය.

2020 සැප්තැම්බර් මස ඊසානදිග මුහුදු තීරයේ අනතුරට පත්වූ MT New Diamond නෞකාවේ අනතුර සම්බන්ධයෙන් අයකරගත යුතු මුදල් පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. පනතේ 26 සහ 38 වගන්ති යටතේ රු. මිලියන 12 ක මුදලක් ද අයකරගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. එහෙත් පනතේ 34 වගන්තිය යටතේ තක්සේරු කළ අගය රු. මිලියන 3480 ක් වුවද එම මුදල මේ වන තෙක් ලැබී නොමැති බවත් රු. මිලියන 51.3 ක මුදලක් නැවේ ගින්න නිවීම සහ තෙල් විසිරීමට ප්‍රතිචාර දැක්වීම සඳහා පමණක්   ලැබී ඇති බවත් මෙහිදී  හෙළි විය.  

මෙම රු. මිලියන 3480 ක තක්සේරු අගය  සිවිල් වගකීම යටතේ පරිසරයට වු හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් හරහා ලබා ගත් ඇස්තමේන්තුවක් බවත් මේ වන විට එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් ඉදිරියේදී සාකච්ඡා කොට ඒ සඳහා කටයුතු කරන බවත්  අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහතා පැවසීය. නීතිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙමින් මෙම ප්‍රමාදයන් වළක්වා රටට ලැබිය යුතු මුදල් කඩිනමින් ලබා ගැනීමේ අවශ්‍යතාව කමිටුව මෙහිදී අවධාරණය කළේය.

මෙම කටයුතුවලදී අධිකාරියේ නීති කළමනාකරුගේ මැදිහත්වීම මීට වඩා තිබිය යුතු බව කමිටුව පෙන්වා දුන්නේය.  MT New Diamond නෞකාවේ අනතුර සම්බන්ධ ලිපිගොනුව නීති කළමනාකාරතුමියට දුන් පසු අස්ථානගත වූ බව මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය පැවසූවාය. ඒ පිළිබඳව නීති කළමණාකාරිණියගෙන් කමිටුව විමසූ විට එවැනි දෙයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරන බවත් ඇයට මෙම රැස්වීම්වලට පවා සම්බන්ධ වීමට ලැබෙන අවස්ථා අවම බවත් පැවසුවාය. මෙවැනි අභ්‍යන්තර ගැටලු අධිකාරියේ ප්‍රගමනයට විශාල බාධාවක් බැවින් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

2021 මැයි මාසයේ කොළඹ වරායට නුදුරින් සිදුවූ ‍ MV X-Press Pearl නෞකා අනතුරට අදාල වන්දි මුදල් අයකරගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. පනතේ සිවිල් වගකීම යටතේ තක්සේරු කරන වටිනාකම්වලට වඩා විශාල වශයෙන් අඩු මුදලක් ලැබීම පිළිබඳවද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය. පනතේ සිවිල් වගකීම යටතේ ඇ.ඩො. මිලියන 44 ක් ලබාගැනීමට තක්සේරුකර තිබුණද එම මුදලින් ඇ.ඩො. මිලියන 6 කට ආසන්න මුදලක් පමණක් මේ වන විට ලැබීම ගැන කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර රටට ලැබිය යුතු වන්දි මුදල් උපරිම ලෙස ලබා ගැනීමට සාකච්ඡා මෙහෙයවිය යුතු බව මෙහිදී මන්ත්‍රීවරු අවධාරණය කළහ. එසේම පිරිසිදු කිරීම් ඇතුළු කටයුතු සඳහා වියදම් ලෙස රු. මිලියන 823 ක වියදම් අතුරින් නවාතැන් පහසුකම් සඳහා මිලියන 18 ක් වියදම් කිරීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවිය.  මෙම වියදම් පිළිබඳ නිසි විගණනයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙසද කමිටුව උපදෙස් ලබා දුන්නේය. එසේම මෙම අනතුරට අදාළව නෞකා සමාගමෙන් අයකරගත යුතු මුදල් නිශ්චිත කාලරාමුවක් තුළ කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දුන්නේය. එසේම අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කොට මෙහි ප්‍රගතිය මාස්පතා වාර්තාවක් මගින් අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දෙන ලෙසත් කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

2012 වසරේ මුහුදුබත් වූ “Thermophile” නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම වසර 10 ක් තිස්සේ ප්‍රමාද වීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමුවිය. අවශ්‍ය සියලු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතිබව නිලධාරීහු ප්‍රකාශ කළහ.  නීතිපති දෙපාර්තමේන්තුව මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා වහාම මැදිහත්ව වැඩපිළිවෙලක් සකස් කොට කෝප් කමිටුව වෙත වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර හා වැල්ලවත්ත ස්ථානවලින් විශාල වශයෙන් සාගරයට අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ පිළිබඳ සොයා බලා වාර්තාවක් මාස 3 ක් ඇතුළත ලබා දෙන ලෙස කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

අධිකාරියේ සාමාන්‍යාධිකාරී සහ මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ යන තනතුරු ද්විත්වයක්ම වැඩබලන තනතුරු ලෙස පැවතීම පිළිබඳව කෝප් සභාපතිවරයා විමසා සිටියේය. එය හිතකර තත්ත්වයක් නොවන බැවින් අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ සිදුකොට බදවා ගැනීම් සිදු කරන ලෙස කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එසේම පරිපාලන සහ මූල්‍ය කළමනාකාරණය යන අංශ ද්විත්වයම එක් පුද්ගලයෙක් යටතේ පැවතීමත් ගැටලු සහගත බැවින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග එක්ව නැවත මෙම තනතුරු සියල්ල පිළිබඳ නිවැරදි සැලැස්මක් සකසන ලෙසත් සභාපතිවරයා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

2020 සහ 2021 වර්ෂ සඳහා අධිකාරියේ  විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 02 ක් බැගින් පවත්වා තිබීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ කෝප් කමිටුව ඉදිරියේදී නිසි පරිදි මෙම රැස්වීම් පවත්වා පරිපාලන කටයුතු පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, නාලක ගොඩහේවා යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, මධුර විතානගේ සහ එස් රාසමානික්කම් යන මහත්වරුද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි