ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් 07 දෙනෙකුගේ සහ මහකොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

දිනය : 2021-12-04

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් 07 දෙනෙකුගේ සහ එක් මහකොමසාරිස්වරයෙකුගේ   පත්වීම් සඳහා  පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැති මෙම උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී මාලදිවයිනේ මහකොමසාරිස්වරයා ලෙස ඒ.එම්.ජේ. සාදික් මහතාට අනුමැතිය ලබාදී ඇත.

ඔහුට අමතරව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.එම්.එස්.ඩී. ජයසේකර මහත්මියටත්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතාටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

ලේකම්, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඒ.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්.එන්.කේ. වීරසේකර මිය ද  පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ද පත් කිරීමට මෙම කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.

මීට අමතරව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්.ජී. විජයබන්දු මහතා පත් කිරීමට ද ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඉංජිනේරු කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා පත් කිරීමට ද කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.

එසේම ජයන්ත චන්ද්‍රසෝම මහතා, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමට ද උසස් නිලතල පිළිබද කාරක සභාව සිය අනුමැතිය ලබා දී ඇත.
 
මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන   ජෝන් සෙනෙවිරත්න, රිෂාඩ් බදියුදීන්, තලතා අතුකෝරාල, ධර්මලිංගම් සිද්ධාර්ථන්  යන මහත්ම මහත්මීහූ  සහභාගි වූහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි