පළාත් පාලන ගැටලු සාකච්ඡා කිරීමට පළාත් පාලන කොමසාරිස්වරු සහ ආණ්ඩුකාරවරු ඉදිරියේදී කැඳවනවා - අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා |
දිනය : | 2021-12-03 |
පළාත් පාලන ආයතනවලට අය වැය සම්මත කිරීමකින් තොරව ඉදිරි වර්ෂය සදහා මුදල් දැරීමේ කිසිදු හැකියාවක් නොතිබුණද අම්බලන්ගොඩ නගර සභාව 2021 වර්ෂය සදහා අයවැය සම්මත කරගැනීමකින් තොරව මුදල් වියදම් සිදුකරන බව ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා විය. එය නීතිවිරෝධි බැවින් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමෙන් පසු පළාත් පාළන ආයතනය විසුරුවා හැරීමේද හැකියාව පවතින බව මෙහිදී අනාවරණය විය. මෙම තත්ත්වය මේ වන විට වෙනත් පළාත් පාලන ආයතනයන් කිහිපයක ද සිදුවන බව පැමිණ සිටි මන්ත්‍රීවරු පැවසීය.
මෙය වැරදි පූර්වාදර්ශයක් ද වන බැවින් මේ පිළිබදව විශේෂ අවධානය යොමු කර කටයුතු කරන බව පැවසූ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පළාත් පාලන ආයතන සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම සදහා පළාත් පාළන කොමසාරිස්වරු සහ ආණ්ඩුකාරවරු ඇතුළු වගකිවයුතු නිලධාරීන් ඉදිරියේදී මෙම කාරක සභාවට කැදවීමට අපේක්ෂා කරන බවත් පැවසීය.
මෙම කරුණු අනාවරණය වූයේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.
පළාත් පාලන ආයතනවල ව්‍යාපෘති අවසන් කිරීමට ඇති කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාව ද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. සිමෙන්ති හිඟය, පැවති කොවිඩ් තත්ත්වය වැනි හේතු නිසා ව්‍යාපෘති අදාළ කාලය තුළ අවසන් කිරීමට නොහැකිව ඇති බැවින් එම කාලය ලබන වසරේ ජනවාරි දක්වා හෝ දීර්ඝ කළ යුතු බව මෙහිදී සාකච්ඡා විය. මේ පිළිබදව කඩිනමින් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
පළාත් පාලන ආයතන යටතේ ඇති ක්‍රීඩාංගන ආදී දේපළ නිසි පරිදි නඩත්තු නොකිරීම පිළිබඳවද මන්ත්‍රීවරු කමිටුවේ අවධානය යොමු කළහ. පළාත් පාලන ආයකන මගින් එම කටයුතු නිසි පරිදි සිදුවනවා දැයි සොයා බැලීම සඳහා මසකට වරක් හෝ රේඛීය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ප්‍රගති සමාලෝචනයක් සිදු කිරීම සඳහා මැදිහත් වන ලෙස අමාත්‍යවරයා මෙහිදි අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
පළාත් සභා අක්‍රීයව පවතින නිසා පළාත් පාලන ආයතන පරිපාලනය සදහා පළාත් පාලන ආයතනවල මුදල් පරිපාලනය සදහා පළාත් පාලන කොමසාරිස්වරු කටයුතු නොකිරීම නිසා රේඛීය අමාත්‍යාංශය මගින් මෙය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.
පවතින කොවිඩ් තත්ත්වය නිසා පළාත් පාලන ආයතනවල ආදායම ශීඝ්‍ර ලෙස අඩු වී ඇති බව කාරක සභාවේදී සාකච්ඡා විය. වරිපනම් බදු අයකර ගැනීමේදී තක්සේරුකරණය සඳහා සේවක සංඛ්‍යාව අඩුවීම නිසා ලැබෙන ආදායම සත්‍ය වශයෙන් ලැබිය යුතු ආදායමට වඩා බෙහෙවින් අඩුවී ඇති බව මන්ත්‍රීවරු කමිටුවේ අවධානයට යොමු කළහ. එසේම නගර සභාවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඖෂධවේදීන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හිඟය ආදී ගැටලු රැසක් පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. අලුතින් බඳවාගත් උපාධිධාරීන් පළාත් පාලන ආයතනවලට යොමුකිරීමට පියවර ගන්නා බවත් මෙම ගැටලු හඳුනාගෙන ඇති බැවින් ඊට කඩිනමින් විසදුම් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.
කාරක සභා සාමාජිකයන් වන ශාන් විජේලාල් ද සිල්වා, සුදත් මංජුල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක්ද, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුළු නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








