ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳව පාර්ශව කිහිපයක අදහස් ලබාගැනීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් |
දිනය : | 2021-12-01 |
දින කිහිපයකට පෙර සිට හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසඳුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්වුණි.
වෙළඳ අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාව රැස් වූ අතර ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද මෙම සාකච්ඡාවට සම්බන්ධ විය.
පාර්ලිමේන්තුවේදී ඊයේ (31) විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව සහ තවත් පාර්ශව කිහිපයක් සම්බන්ධකරගෙන මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ මෙම විශේෂ රැස්වීම පැවැත්වීම සිදු විය.
මේ සඳහා වෙළඳ අමාත්‍යාංශය, සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නිමයුම් රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ලිට්රෝ ගෑස් සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, බලශක්ති අමාත්‍යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීහු සහභාගී වූහ. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හිටපු මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා සහ මොරටුව විශ්වවිද්‍යාලය නියෝජනය කරන මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා ද මේ සඳහා සම්බන්ධ විය. තවද ඛනිජ තෙල් පිළිබඳ විශේෂඥ නිමල්ද සිල්වා මහතා ද මෙම කාරක සභාවට සම්බන්ධ විය.
විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කිහිපයක් මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළ අතර හැකි ඉක්මනින් ලිඛිතව හෝ මේ සඳහා පිළිතුරු ලබාදෙන ලෙස සඳහන් කළේය.
එසේම මෙහිදී ගෑස් පුපුරා යෑමට අදාළව පැමිණ සිටි සියලු පාර්ශව වලින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීම සිදුවිය.
ගෑස් සංයුතියේ වෙනස් කිරීම වත්මන් පුපුරායෑම් වලට බලපෑමක් කළේද යන්න ගැන ද, උසස් ප්‍රමිතියෙන් යුතු උපාංග භාවිතයේ ඇති වැදගත්කම ද, ගෑස්වල ගඳ සුවඳ පිළිබඳ පරීක්ෂා කොට වාර්තාවක් ලබාගෙන ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳව ද, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තා සති දෙකක් ඇතුළත ලබාගෙන එම නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද, මෙරටට ගෙන්වන ගෑස් රටට ඇතුලු කිරීමට පෙර නැව තුළදීම ප්‍රමිතිය පරීක්ෂා කිරීම පිළිබඳවද යම් යම් එකඟතාවයන්ට පැමිණීම මෙහිදී සිදු විය.
මෙම කාරක සභාව සඳහා ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු, ගරු රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක්ද සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










