ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක් හඳුන්වාදීමට අවධානය

දිනය : 2021-11-26

විවිධ පළාත් පාලන අයතන යටතේ ඉදිකිරිම් සම්බන්ධව බලපත්‍ර ලබා ගැනීමේ දී විවිධ ආකෘතීන් යටතේම බලපත්‍ර නිකුත් කිරීම නිසා පුද්ගලයින් අපහසුතාවයට පත්වන බැවින් රටටම බලපාන එකම ආකෘතියක් ඇති කිරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අවධානය යොමු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතායි.

මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සම්බන්ධ වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කළේ පළාත් පාලන ආයතන කිහිපයකට ගියවිට එම එක් එක් පළාත් පාලන ආයතන වල ඉදිකිරීම් සම්බන්ධයෙන් ලබා දෙන බලපත්‍රය විවිධාකාර ස්වරූපයක් ගන්නා බවයි. මේ නිසා සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් අපහසුතාවට පත්වන බවද ඔහු සඳහන් කළේය. එබැවින් ලංකාවට සම්මත එකම ආකෘතියක් මේ සඳහා හඳුන්වා දීමේ අවශ්‍යතාවය මතු කළේය.
 
මේ අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඉක්මනින් සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැමිණ සිටි අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එසේම සැලසුම් කටයුතු අනුමත කර ගැනීමේදී නිලධාරීන් සිදුකරන අක්‍රමිකතා සහ මුදල් වංචා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණ අතර ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරුණි. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ස්ථානයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරුණි.

එසේම ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමේදී එකම ගොඩනැගිල්ල සඳහා ආයතන කිහිපයකින් අනුමැතිය ලබා ගැනීමේදී මිනිසුන් මුහුණ දෙන අපහසුතා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මේ සම්බන්ධයෙන් සොයාබලා ඉක්මනින්ම වැඩපිළිවෙළක් සකස් කිරීමට ගරු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මීට අමතරව ප්‍රදේශ කිහිපයක පවතින ඉදිකිරීම් සම්බන්ධ ගැටලු සහ නව ඉදිකිරීම් අවශ්‍යතාවයන් පිළිබඳවද මෙම අමාත්‍යාංශයීය උපදේශක සභාවේදී සාකච්ඡා කෙරුණි.

මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුරගෙ විනාගේ, ගුණපාල රත්නසේකර, වසන්ත යාපා බණ්ඩාර, චාමර සම්පත් දසනායක, අමරකීර්තී අතුකෝරල, මංජුලා දිසානායක, සුදත් මංජුල, අසංක නවරත්න, වීරසුමන වීරසිංහ, ගුණතිලක රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගීවූහ.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි