ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තේ පොහොර සඳහා සහනාධාර ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන්න - ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා

දිනය : 2021-11-23

තේ කර්මාන්තය මේ වන විට අර්බුදයකට ලක් වී ඇති බවත් එබැවින් තේ පොහොර සඳහා සහනාධාර ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන ලෙසත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ මහතා මෙම ඉල්ලීම කළේ වැවිලි කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ පොහොර ප්‍රමාණවත් නොවීමේ අර්බුදය නිසා කුඩා තේ වතු හිමියන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවයි. ඊට පිළිතුරු දෙමින් ගරු අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සහනාධාරය ලබා දීමට ඉක්මනින් කටයුතු කරන බවයි. මෙහිදී වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලංකාවේ වැඩිම තේ ඵලදාව වාර්තා වී ඇත්තේ 2013 වර්ෂයේ බවත් එම වර්ෂය තේ පොහොර ගෙන්වීම අවම මට්ටමක පැවති බවත්ය. නමුත් 2020 වසරේ වැඩිම තේ පොහොර ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවත් ඊට සාපේක්ෂව ඵලදාව වැඩි වී නොමැති බවත් ය. විශේෂයෙන් ලෝක වෙළඳපොලේ පොහොර මිළ දෙගුණයකින් පමණ අද වන විට වැඩි වී ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම කුරුඳු, ගම්මිරිස් වැනි සුළු අපනයන බෝගවල මිල 2020 වර්ෂයට සාපේක්ෂව මේ වන විට විශාල වශයෙන් වැඩි වී ඇති බවත් ඊට සාපේක්ෂව තේ මිල වැඩි වී නැති බවත් වීරසිංහ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් මෙම තත්ත්වය නිසා කුඩා පරිමාණ තේ වතු හිමියන් දැඩි අර්බුදයකට පත් වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.  මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මෙය වැදගත් ප්‍රශ්නයක් වන බවත් මේ පිළිබඳ අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බවත් ය.

තවද මාතර දිස්ත්‍රික්කයේ ඇති කළ නිල්වලා යෝජනා ක්‍රමය හේතුවෙන් කුඹුරු අක්කර 15000 ක් පමණ පුරන් වී ඇති බවද එම පුරන් වී ඇති කුඹුරු ප්‍රදේශවල පොල් වගා කිරිම පිළිබඳ අවධානය යොමුකොට කටයුතු කරන ලෙසද වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට කටයුතු කරන ලෙස මෙහිදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

එසේම ජල බිංදු ක්‍රමයට විකල්ප ක්‍රමයක් විශාල ප්‍රමාණ වතු සඳහා හඳුන්වා දීම පිළිබඳව ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින පොල් කොහු කර්මාන්තය පිළිබඳව ද, ඇල්කඩුව වැවිලි සමාගම යටතේ පවතින සෙම්බුවත්ත ප්‍රදේශය සංචාරක කර්මාන්තයට යොදා ගත හැකිද යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාව සඳහා ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ජානක වක්කුඹුර, කණක හේරත්, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, මහාචාර්ය චරිත හේරත්, වේලු කුමාර්, ගුණපාල රත්නසේකර, ගුණතිලක රාජපක්ෂ, මංජුලා දිසානායක, උදයන කිරිඳියගොඩ,  අමරකීර්ති අතුකෝරල යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 

1 2

3 4

5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි