ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අපක්ෂපාති මැතිවරණ ප්‍රචාරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ප්‍රමුඛ සාධකයක් බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි

දිනය : 2021-11-22

අපක්ෂපාති මැතිවරණ ප්‍රචාරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ප්‍රමුඛ සාධකයක්  බව, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පවසයි.

මාධ්‍ය වාර්තාකාරණය සාධාරණ නොවීම හේතුවෙන් වර්තමානයේ ගැටලු රැසක් මතුව තිබේ.  මැතිවරණ කාල සීමාවේදී මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් සඳහා විද්‍යුත් මාධ්‍ය ඉතා ඉහළ මිල ගණන් අය කරයි. එය ඇතැම් දේශපාලන පක්ෂවලට සහ දේශපාලඥයන්ට බරපතල අසාධාරණයක් බවද , හෙතෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් මෙම කාරක සභාවේදී පසුගියදා (20) සාක්ෂි ලබා දුන් අතර, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව නියෝජනය කරමින් පැමිණි සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ප්‍රසාද් කේ. දොඩම්ගොඩගේ මහතා පැවසුවේ තම මාධ්‍ය ආයතනය සියලු අපේක්ෂකයන්ට මැතිවරණ කාල සීමාව තුළදී සමාන ගුවන් කාලයක් ලබා දීමට කටයුතු කරන බවයි. මැතිවරණ ප්‍රචාරණය සඳහා වන නීති ප්‍රතිසංස්කරණයක් සිදුවන්නේ නම් ඊට පොදු එකඟතාවක් අවශ්‍ය බව හෙතෙම කාරක සභාවේදී කීවේය.

ස්වාධින රූපවාහිනී සේවය වෙනුවෙන් සාක්ෂි ලබාදුන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ප්‍රවෘත්ති) සුදර්මන් රඳලියගොඩ මහතා සඳහන් කළේ, මැතිවරණ ප්‍රචාරණයට අදාළව රාජ්‍ය මාධ්‍යට සහ පෞද්ගලික මාධ්‍යට බලපාන පරිදි එකම නීති පද්ධතියක් අවශ්‍ය බවයි. රාජ්‍ය මාධ්‍ය මඟින් සේම පෞද්ගලික මාධ්‍ය මඟින්ද අපේක්ෂකයන්ට නොමිලයේ ගුවන් කාලයක් ලබා දීම ඉතා වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසුවේ මැතිවරණ කාල සීමාව තුළ ප්‍රවෘත්ති වාර්තාකරණය සමබර නොවන බවයි. සියලු ජනමාධ්‍ය තුළ එම තත්ත්වය දක්නට ලැබෙන බව ඔහු කීවේය.

පෞද්ගලික මාධ්‍ය ව්‍යවසායකයන් අතර පවතින තරඟකාරිත්වය හේතුවෙන් මැතිවරණ කාල සීමාව තුළදී විවිධ උපක්‍රම භාවිත කිරීමට සිදුවන බව හිරු මාධ්‍ය ජාලය වෙනුවෙන් කාරක සභාවේදී සාක්ෂි දුන් හිරු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතා පැවසීය. තම නාලිකාවේ දේශපාලන වැඩසටහන් තුළදී සියලු දේශපාලන පක්ෂ සඳහා සම අවස්ථා ලබා දීමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.

ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනයේ සහ, දෙරණ මාධ්‍ය ආයතනයේ නියෝජිතයෝද මෙම කාරක සභාවේදී සාක්ෂි ලබා දුන්හ.

මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය උපමාන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් විමසිය යුතු බද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී කීවේය.

මැතිවරණ කොමිසම නිකුත් කර ඇති මාධ්‍ය උපමාන අදාළ වන්නේ රාජ්‍ය මාධ්‍යයට පමණක් බව එම කොමිසමේ නියෝජිතයෝ කාරක සභාවේදී සඳහන් කළහ. මෙම මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කිරීමට අදාළව ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්ද තොරතුරු විමසීම වැදගත් බව කාරක සභාවේදී සකච්ජා විය.

මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම  ලබන 26 වැනිදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

 

1 2

34

5 6

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි