ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වෛද්‍ය සැපයීම් වට්ටෝරු සමාලෝචන කමිටුවේ නිර්දේශයකින් තොරව වසර 06 ක් තුළ මිලදී ගෙන ඇති වෛද්‍ය සැපයීම් අයිතමයන්හි පිරිවැය රුපියල් මිලියන 10,193 - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වෙයි

දිනය : 2021-11-19

වෛද්‍ය සැපයීම් වට්ටෝරු සමාලෝචන කමිටුවේ නිර්දේශයකින් තොරව 2011 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළදී පිරිවැය රුපියල් මිලියන 10,193 ක් වූ වෛද්‍ය සැපයීම් අයිතම 4,619 ක් මිලදී ගෙන ඇති බව පසුගියදා (17) පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මෙම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් සිදු කරනු ලබන වෛද්‍ය සැපයීම්, සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ 2018 මාර්තු 14 දිනැති විගණකාධිපති විශේෂ විගණන වාර්තාව පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම පැවැත්විණ.

ලොව බොහෝ රටවල් විසින් පරිභෝජනය කරනු ලබන වෛද්‍ය සැපයීම් අයිතම සංඛ්‍යාව ඉතා අඩු අගයක් ගන්නා නමුත්, දිවයින තුළ 2017 වර්ෂය වන විට වෛද්‍ය සැපයීම් අයිතම 19,844 ක් පරිභෝජනය කර තිබුණු බව ද මෙහිදී හෙළි විය.

2018 සහ 2019 වර්ෂවල අවස්ථා 14 කදී රුපියල් මිලියන 891 ක් වැයකර වෙළඳ නාමය Herticad  නමින් වූ Trastuzumab injection 440mg with solvent in 20ml vials 8,945 ක් දේශීය වෙළඳ පොළේ එක් සැපයුම්කරුවෙකුගෙන් මිළදී ගෙන තිබුණු බවද කාරක සභාවේදී අනාවරණය විය. මෙම ගනුදෙනුවලදී අදාළ ප්‍රසම්පාදන කමිටුව විසින් අවම ලංසු ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් රුපියල් මිලියන 230.9 ක් වූ අතිරේක පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

එමෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාදය හේතුවෙන් නිර්මාණය වන වෛද්‍ය සැපයීම් හිඟය වළක්වා ගැනීමට එම වෛද්‍ය සැපයුම් දේශීය වෙළඳපලින් මිලදී ගැනීමට සිදුවීම නිසා 2007 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වු වර්ෂ 10 ක කාලය තුළදී රුපියල් මිලියන 5,166 ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුව තිබීම සම්බන්ධයෙන්ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළේය.

තත්ත්වය පිළිබඳ තහවුරුවකින් තොරව වෛද්‍ය සැපයීම් වාර්ෂිකව රට තුළට එන බව තහවුරු වී තිබෙන අතර, එමගින් රෝගීන්ට සිදුවන හානීය මැනිය නොහැකි බවද ජාතික විගණන කාර්‍යාලය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

2016 වර්ෂය වන විට ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරයේ පැවැති භෞතික හා මානව සම්පත් වැඩිදියුණු කිරීමට 2020 වසරේ දෙසැම්බර් 31 දින වන විටත් කටයුතු කර නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාව නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.

මිලදී ගනු ලබන සියළුම වෛද්‍ය සැපයීම්වල නියැඳියක තත්ත්වය පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා නොතිබීම, තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් සඳහා අයකර ගැනීමේ ක්‍රියාවලියේ දුර්වලතා, තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් රෝගීන් වෙත නිකුත් කර තිබීම, වෛද්‍ය සැපයීම් බහාලුම්වල රාජ්‍ය ලාංජනය මුද්‍රණය කර නොතිබීම, වෛද්‍ය සැපයීම් ගබඩා සුදුසු තත්ත්වයෙන් පවත්වා නොතිබීම, වෛද්‍ය සැපයීම් ලද වහාම තොග ලැබීම් පත්‍ර (GRN) නිකුත් නොකිරීම, පරිත්‍යාග හා ආධාර ලෙස ලද වෛද්‍ය සැපයීම් නිසි ලෙස ගබඩා කර බෙදා හැරීමට කටයුතු නොකිරීම, වෛද්‍ය සැපයීම් කල් ඉකුත්වීමේ ප්‍රවණතාව, වෛද්‍ය සැපයුම් කළමනාකරණ තොරතුරු පද්ධතිය (MSMIS) යාවත්කාලීන නොකිරීම වැනි ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙම කාරක සභාවේදී විශේෂ අවධානයක් යොමු විය.

මෙම කාරක සභාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කාදර් මස්තාන්, වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි