ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2021 ඔක්තෝබර් වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272 ක් - ‘කෝපා’ කමිටුවේ දී අනාවරණය වෙයි

දිනය : 2021-11-17

2021 ඔක්තෝම්බර් 01 දින වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය විය.

මෙම අනාවරණය සිදුවූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 16 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී ජ්‍යේෂ්ඨ මට්ටමේ තනතුරු 18 ක්, තෘතියික මට්ටමේ තනතුරු 113 ක්, ද්විතියික මට්ටමේ තනතුරු 121 ක්,  ප්‍රාථමික මට්ටමේ තනතුරු 19 ක් සහ  වෙනත් එක් තනතුරක පුරප්පාඩු පවතින බව සඳහන් විය. මෙම පුරප්පාඩු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්යසාධනයට යම් යම් බාධා ඇතිවන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ. මේ වන විටත් මෙම පුරප්පාඩු පිරවීමට ඉල්ලීම් කොට ඇති බව එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ. මේ අනුව මෙම තනතුරු ඉක්මනින් පුරවා ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව  නිර්දේශ කළේය.

2012 වර්ෂයේ සිට මොබිටෙල් ආයතනය සමග එක්ව ‍ක්‍රියාත්මක කරන “විද්‍යුත් සංචරණ අනුමැතිය” ලබා ගැනීමේ පද්ධතිය සංචාරකයින්ට වඩාත් මිත්‍රශීලී හා ආකර්ෂණීය පුළුල් සේවාවක් ලබාදීමේ අරමුණෙන් යාවත්කාලීන කොට නොමැති බවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එබැවින් මෙම පද්ධතිය නවීකරණය කිරීම පිළිබඳව සහ නූතන ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳ  ‌මෙහිදී කමිටුව විසින් ප්‍රශ්න කරන ලදී. මේ අනුව දැනටමත් මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇති බවත් ඉදිරියේ දී එය සිදු කරන බවත් නිලධාරීහු පැවසූහ. මේ සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දීමට කෝපා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා නිර්දේශ කළේය.

එසේම දෙපාර්තමේන්තුව සතු 2012 වර්ෂයේ දී සහ 2015 වර්ෂයේ දී මිලදී ගත් වාහන දෙකක් වසර කිහිපයකට පෙර අනතුරට ලක් වී ඇති බවත් එම වාහන තවමත් අලුත්වැඩියා කොට භාවිතයට නොගන්නා බවත් මෙහිදී අනාවරණය විය. රක්ෂණ සමාගම සමඟ ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් මේ වනවිට රක්ෂණ සමාගම සමඟ අලුත්වැඩියා කිරීම පිළිබඳ යම් එකඟතාවකට පැමිණ ඇති බවත් නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.

එසේම දෙපාර්තමේන්තුව සතු වෙබ් පිටුවක පළ වන පෞද්ගලික දුරකතන සමාගමක නිල ලාංඡනය ප්‍රදර්ශනය කිරීම පිළිබඳව, පුද්ගලයින්ගේ ද්විත්ව පුරවැසිභාවය ලියාපදිංචි කිරීම පිළිබඳව, නීත්‍යානුකූල නොවන ලෙස ලංකාවේ රැඳී සිටින විදේශිකයින් පිළිබඳව ඇතුලූ තවත් කරුණු කිහිපයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම කාරක සභාව සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර ප්‍රසන්න රණවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බී.වයි.ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, ආචාර්ය හරිනි අමරසූරිය, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මෙහොමඩ් මුසම්මිල්, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 

1 2

3

4

5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි