ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ ප්‍රජා විශෝධන වාර්තාවේ කෙටුම්පත මහජන යෝජනා සඳහා විවෘත කෙරේ

දිනය : 2021-10-08

ශ්‍රී ලංකාවේ ප්‍රජා විශෝධන වාර්තාවේ කෙටුම්පත මහජන යෝජනා සඳහා විවෘත කරන බව ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා පැවසීය. මේ අනුව මෙම වාර්තාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණෙන් මහජන අදහස් ලබා ගන්නා ලෙස ඔහු උපදෙස් ලබා දුන්නේය.

ගරු අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙම කාරක සභාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නියෝජිත රොබර්ට් ජුකාම් මහතා ද සහභාගී වූහ.

පුනරුත්ථාපනය කිරීමකින් තොරව මිනිසුන් සිරගත කිරීම පල රහිත බව තමන් විශ්වාසකරන බවත් ඒ නිසා ප්‍රජා විශෝධනය කිරීමේ ක්‍රමය වඩාත් ඵලදායී ක්‍රමයක් වනු ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව වසර දෙකකට අඩු සිර දඩුවම් නියම වන, සුලු වැරදිකරුවන් බන්ධනාගාර ගත නොකොට ප්‍රජා විශෝධනය කිරීමේ හැකියාව පිළිබඳ සැලකිල්ලට ගැනීම වැදගත් බව හෙතෙම සඳහන් කළේය.

මෙහිදී හිටපු මහේස්ත්‍රාත්, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා විසින් ප්‍රජා විශෝධනය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ අතර ඔහු සඳහන් කළේ අපරාධ නීතිය සහ යුක්තිය යන සංකල්පයන් එකට බැඳී ඇති බවයි. අපරාධකරුවෙකු ලෙස කෙනෙකු  නම් කිරීමට වඩා යහපත් පුද්ගලයෙකු ලෙස සමාජගත කිරීම වැදගත් වන බවත්ය.

එසේම එම අරමුණ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව හරහා ස්තර දෙකක් ඔස්සේ ඉටුකර ගැනීම සිදු කළ හැකි බවද ඔහු සඳහන් කළේය. එනම් දේශපාලන නායකත්වය සහිත දේශපාලන ස්තරය පළමු ස්තරය බවයි. අදාළ ප්‍රතිසංස්කරණ ඇති කිරීම හා සංවර්ධනය කිරීම සඳහා සිය විශේෂඥතාවයන් උපයෝගී කරගත් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් සහ වෘත්තිකයින් ඇතුළත් ස්තරය දෙවන කණ්ඩායම බවයි.

මේ අනුව මෙම ක්‍රමය දියුණු කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ විවිධ පාර්ශවකරුවන්ගේ යෝජනා අත්‍යවශ්‍ය වන බවද සහකාර මහලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කාරක සභාව ඇමතූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය පැවසුවේ අධිකරණ අමාත්‍යාංශයේ වැඩපිළිවෙල අගය කළ යුතු බවයි. ඇය වැඩිදුරටත් සඳහන් කළේ සුලු වරදකරුවන් බන්ධනාගාරගත වීම  අනාරක්‍ෂිත බවත්  ඒ නිසා සුලු වැරදිකරුවන් ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් වී  බන්ධනාගාරයෙන් පිටතට යාමේ අවධානම් ක්‍රියාවලියක් ඇතිවිය හැකි බවත් ය. මේ නිසාම ප්‍රජා විශෝධනය වැදගත් කාර්යයක් වන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
 
මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, ජී. ජී. පොන්නම්බලම්, සාගර කාරියවසම්, මධුර විතානගේ, ඩයනා ගමගේ, ගාමිණී වලේබොඩ, එස්. කජේන්ද්‍රන්, අජිත් රාජපක්ෂ, අකිල එල්ලාවල යන මහත්වරු සහභාගී වූහ.

 

1

2 3

5

6

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි