ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තයේ නියැලෙන කාන්තාවන් මුහුණ දෙන අභියෝග පිළිබඳ පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා කෙරේ

දිනය : 2021-09-27

ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තයේ නියැලෙන කාන්තාව මුහුණ දෙන අභියෝග පිළිබඳව පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා කිරීම ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමටත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් ස්ථාපිත කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදි.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තයේ නියැලෙන කාන්තාව මුහුණ දෙන අභියෝග පිළිබඳව අංශ ගණනාවක් නියෝජනය කරන සම්පත්දායකයින් සමඟ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමටත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් ස්ථාපිත කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාර්ගගත ක්‍රමය ඔස්සේ පසුගියදා (23) රැස්වූ අවස්ථාවේදී ය.
විශේෂයෙන් මෙහිදී අදහස් දැක්වූ පාර්ශවයන් පෙන්වා දුන්නේ ස්වභාවික සම්පත් සහ ඉඩම් අයිතිය පිළිබඳව, වෙළෙඳපොළ ප්‍රවේශය පිළිබඳව, මූල්‍ය සේවාවන්ට ඇති ප්‍රවේශය පිළිබඳව, නව තාක්ෂණය පිළිබඳව, පවුල ආශ්‍රිතව ගොඩනැගී තිබෙන රැකබලාගැනීමේ වගකීම පිළිබඳව, ආදී වශයෙන් කෘෂිකර්මාන්තයේ නියැලෙන කාන්තාව ප්‍රධාන අංශ පහක් යටතේ ගැටළු වලට මුහුණ දෙන බවයි. මේ නිසා මේ පිළිබඳව අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමුවිය යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.
 
එසේම මෙම ගැටලුවලට යම් විසඳුම්  ප්‍රමාණයක් ලැබෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය සැකසීමේ සහ පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට කාන්තාවට සක්‍රීයව දායකත්වය ලබා දිය හැකි බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ මෙම විශේෂ කාරක සභාවේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රයට පොදු වූ ප්‍රශ්න පවතින බවත් මෙම සාකච්ඡාව හරහා කාන්තාවන්ට විශේෂිත වූ ප්‍රශ්න කිහිපයක් පිළිබඳ හඳුනා ගැනීමට හැකි වූ බවත්ය. මේ නිසා මේ පිළිබඳව මෙම විශේෂ කාරක සභාවේ අවධානය යොමු කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය. එසේම 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරන අයවැයේදී මෙම කාරණා පිළිබඳ අවධානය යොමු කරන ලෙස මුදල් අමාත්‍යවරයාට දැනුම් දීමට කටයුතු කරන බවද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

එසේම මෙම සාකච්ඡාවට කාන්තා ගොවි සමිති නායිකාවන් කිහිප දෙනෙක්ද මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වෙමින් සිය අදහස් ඉදිරිපත් කළාය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යශයේ අතිරේක ලේකම් ඇතුළු නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී සහ මෙම විශේෂ කාරකසභාවේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් හා තවත් පාර්ශව කිහිපයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වූහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි