ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කොවිඩ් තත්ත්වය නිසා ප්‍රමාද වී ඇති කොරියානු රැකියා අවස්ථා ලබා දීම සඳහා කඩිනමින් කටයුතු කරනවා - විදේශ කටයුතු අමාත්‍ය ‍දිනේෂ් ගුණවර්ධන මහතා

දිනය : 2021-08-06

පවතින කොවිඩ් තත්ත්වය මත ප්‍රමාදවී ඇති  කොරියා‍නු රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීම කඩිනම් කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බව විදේශ අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා (04) පාර්ලිමේන්න්තුවේ පැවති විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කළ බවත් ශ්‍රී ලාංකිකයන්හට කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා කොරියානු තානාපතිවරයා විශේෂ යෝජනාවක් කළ බවත් අමාත්‍යවරයා පැවසීය. එහෙත් පවතින කොවිඩ් තත්ත්වය තුළ මේ කටයුතු ප්‍රමාද වී ඇති බැවින් මේ සඳහා දැනටමත් අදාළ සියලු පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමිණි ව‍ලේබොඩ මහතා විසින් කොරියාවේ සේවය සඳහා මේ වන විට ශ්‍රී ලාංකිකයන් සඳහා අවස්ථාව ඇති බැවින් මේ සඳහා වැඩපිළිවෙලක් සකස් විය යුතු බවට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

කාරක සභාවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පෙන්වා දුන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ දැනට සම්මත වී ඇති විදේශ මෙහෙයුම් පනත මගින් එරට යුධ සෙබලුන්  විදේශ ර‍ටවලදී  වසර 05කට ඉහතදී සිදුකරන ලද යුධ අපරාධවලින් නිදහස්කොට ඇති බවයි.  එවැනි පසුබිමක  ශ්‍රී ලාංකේය හමුදාව සිය මවුබිමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියදී පවා මානව හිමිකම් සම්බන්ධව චෝදනා නැගීම යුක්ති සහගත නොවන බැවින් මෙරට හමුදාව සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් පිළිබඳ සළකා බලන ලෙස මන්ත්‍රීවරයා  ඉල්ලා සිටියේය. මානව හිමිකම් යන කාරණය ජාතික රාජ්‍යයන්ගේ ස්වාධීනත්වයට එරෙහිව යොදා ගැනීමට එරෙහිව හඬ නැගිය යුතු බවත් පෙන්වා දුන් ඔහු මානුෂීය මෙහෙයු‍ම දියත් කරමින් ලෝකයටම ආදර්ශයක් සැපයූ  මෙරට හමුදාව පිළිබඳවත් ස්ථාවරයක් ලෝකයට ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
   
මෙහිදී අදහස් දක්වමින් විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශකර සිටියේ මේ පිළිබඳ කරුණු අධ්‍යයනය කරමින් යන බවයි. මෙරට උතුරු නැගෙනහිර ජනතාවට ඔවුන්ගේ ඉඩම් නැවත පවරා දීම ඇතුළු කටයුතු හැකි උපරිමයෙන් සිදුකරන බැවින් මේ සියලු කාරණා පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමටද කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ මේ පිළිබඳව පසුගිය ජිනීවා මානව හිමිකම් සැසියේදී ද ශ්‍රී ලංකාව පාර්ශවයෙන් අදහස් දැක්වූ බවයි. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක්ද පත්කළ බවත් එමගින් මේ පිළිබඳව සාක්ෂි එක්රැස් කිරීම සිදුකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහි අතුරු වාර්තාවක් මේ වන විට  ජනාධිපතිවරයාට භාර දී ඇති බවත් මේ පිළිබඳව මෙරට සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී  චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේ කොවිඩ් තත්ත්වය තුළ බොහෝ රටවල් ලංකාව “රතු රටක්“ ලෙස හදුන්වා ඇති බැවින්  ලංකාව කෙරෙහි මෙම ආකල්පය වෙනස් කිරීමට වෙන වෙනම අදාළ රටවල් සමග සම්බන්ධතා පැවැත්විය යුතු බවයි.  එසේම ඉන්දියාවේ ශ්‍රී ලාංකේය මහ කොමසාරිස්වරයෙක් පත් කිරීම වසර දෙකක සිට ප්‍රමාදවී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. මෙහිදී රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසා සිටියේ මේ සඳහා උපායමාර්ගික වැඩපිළිවෙලක් අදාළ පාර්ශවයන් සමග සකස්කර ඇති බවයි. ඇතැම් රටවල පවතින තත්ත්වය සමග මෙය ප්‍රායෝගිකව අසීරු වුවද මේ සඳහා සියලු පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිළි කළේය. එසේම ඉන්දියාව සඳහා මහ කොමසාරිස්වරයෙකු මෙම මස 15 වනදා වැඩ බාර ගන්නා බවද මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාසමානික්කම් මහතා පෙන්වා දුන්නේ විදේශ කටයුතුවලට අදාළ මහජනතාවගේ  ගැටලු බොහෝමයක් මහජන නියෝජිතයන්ට පැමිණෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් ඒ සඳහා සම්බන්ධීකරණ නිලධාරි‍වරයෙක් පත් කරන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

තමිල්නාඩුවේ රාමේශ්වරන් සහ තලෙයි මන්නාරම අතර තොටුපළ සේවාවක් ආරම්භ කිරීම පිළිබඳවද රාසමානික්කම් මහතා විමසා සිටි අතර මෙහිදී විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියේ ඉන්දියාව පාර්ශවයෙන් මීට කැමැත්ත පළවී තිබුණද ආරක්ෂක අමාත්‍යාංශය සහ වරාය අමාත්‍යාංශය මේ පිළිබඳව අවසාන තීරණයකට නොපැමිණ ඇති බවයි.

තවද විදේශ සේවා විභාග පැවැත්වීම  ප්‍රමාදවී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා පෙන්වා දුන්නේය. පවතින කොවිඩ් තත්ත්වය තුළ විභාගය පැවැත්වීම ප්‍රමාද වී ඇති බවත්  විභාග දෙපාර්තමේන්තුව  ඉදිරියේදී මේ සඳහා කඩිනමින් කටයුතු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය. අවසන් වරට මෙම විභාගය පවත්වා ඇත්තේ 2018 වසරේදී බවත් මේ වන විට නිලධාරීන්ගේද පුරප්පාඩු පවතින බවත් මෙහිදී අනාවරණය විය. එබැවින්   විභාග දෙපාර්තමේන්තුව මගින් විභාගය පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කොට ඇති බවත් ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ පවත්වා අදාළ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් රාසමානික්කම්, ගාමිණී වලේබොඩ, ආචාර්ය සුරේන් රාඝවන්, ඩිලාන් පෙරේරා , යදාමිණි ගුණවර්ධන සහ සුදත් මංජුල යන මහත්වරුද විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මේ අවස්ථාවට සහභාගී වූ අතර අනෙකුත් නිලධාරීහු  මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ විය.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි