ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශයෙන් 2021 පෙබරවාරි සිට මේ දක්වා ලැබී ඇති බදු ආදායම රුපියල් මිලියන 251ක් - ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා

දිනය : 2021-07-22

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළදී නතර කොට තිබූ විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශයෙන් බදු අය කිරීම නැවතත් 2021 පෙබරවාරි මස සිට ආරම්භ කර ඇති බවත් එමගින් මේ දක්වා ලැබී ඇති ආදායම රුපියල් මිලියන 251ක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එසේ අය කරන බදු මුදල තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කරන බවත් එමගින් දේශීය සංස්කෘතිය සහ දේශිය ටෙලිනාට්‍ය කලාව සහ කර්මාන්තය රැක ගැනීමට සහ එහි නිරත වන මෙරට කලාකරුවන් දිරිමත් කිරීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පසුගියදා (20) පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ රටේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන් පැය 16ක් පුරා රූපවාහිනිය මගින් විකාශය කිරීම වෙනුවෙන් වැය කෙරෙන මුදල මසකට මිලියන 22ක් වන නමුත් ඒ සඳහා ලැබෙනුයේ මිලියන 04ක් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් රාජ්‍ය රූපවාහිනී නාලිකාවේ වගකීම නිසි පරිදි ඉටු කරන බවත් පැවසීය.

මේ වන විට ජාතික රූපවාහිනී නාලිකාව පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි සඳහන් කළ අමාත්‍ය රඹුක්වැල්ල මහතා ජාතික අනන්‍යතාවය රැක ගනිමින් සහ නවීන වැඩසටහන් වර්ග හඳුන්වා දෙමින් ජාතික රූපවාහිනි නාලිකාව වැඩි දියුණු කිරිමට බලාපොරොත්තු වන බවත් මේ වසර අවසාන වන විට එය ආදායම් පියවිය හැකි මට්ටමට හෝ ළඟා කරවීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි ආර්ථික බලපෑමට ලක්ව ඇති රජයේ මාධ්‍ය ආයතන නැවත යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි අභියෝගය තම අමාත්‍යාංශය වෙත පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සහ දැනට ක්‍රියාත්මක වන සියළුම ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරිමටත්,  පුවත්පත් මණ්ඩල පනත සියළුම මාධ්‍යන්ට අදාල වන පරිදි මාධ්‍ය මණ්ඩල පනත වශයන් යළි සංශෝධනය කිරීමටත් තම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයිද පැවසූ අමාත්‍යවරයා මිලියන 22ක ජනතාව වෙනුවෙන් සිය අමාත්‍යාංශයේ වගකීම ඉටු කරන බවත් පැවසීය.   

මෙම රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි, ගීතා කුමාරසිංහ, ජී. කරුණාකරන්, එස්. ගජේන්ද්‍රන්, සානක්කියන් රාසමානික්කම්, උද්දික ප්‍රේමරත්න, ඩයනා ගමගේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක, ජාතික රූපවාහිනියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි