ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඛනිජ වැලි මෙ.ටොන් 85,000ක් අලෙවිය පිළිබඳ වහාම විමර්ශනය කර මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න - ‘කෝප්’ කමිටුව නිර්දේශ කරයි

දිනය : 2021-03-23

පූර්ණ වශයෙන් රජය සතු සමාගමක්  වන ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනය විසින් ඉල්මනයිට් ඛනිජවැලි ටොන් එකක් සඳහා ඇ.ඩො. 165ක මිලක් ඉදිරිපත් කළ ගැණුම්කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවන තැන සිටි ඉල්ලුම්කරුට ටොන් එකක් ඇ.ඩො. 147 කට ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය ලබා දීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාට දැනුම් දුන්නේය.

මෙම විකිණීමට අදාළ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය මගින් පත්කළ ටෙන්ඩර් අනුකමිටුවකින් ලබා දී ඇති බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද ලංකා මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීහු ප්‍රකාශ කළ අතර මේ පිළිබඳව සිය අවධානය යොමුකළ කෝප් සාමාජිකයන් ප්‍රකාශ කළේ මිනරල් සෑන්ඩ් ආයතනයේ නිලධාරීන් විසින් අමාත්‍ය මණ්ඩලය පවා නොමග යැවීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වන බවයි.  

තවද  මේවන විට ඉල්මනයිට් මෙට්රික් ටොන් එකක මිල ඇ.ඩො. 240 කට ආසන්න වන බවත් මෙහිදී හෙළිවිය. 2018 සහ 2019 වර්ෂවල ලබා ඇති මුළු අලෙවිය සාපේක්ෂව 2020 වසරේ අලෙවිය අඩු වීම සම්බන්ධව මෙහිදී කමිටුවේ අවධානය යොමු වූ අතර මෙහිදී අනාවරණය වූයේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී ගැනුම්කරුවෙකුට අලෙවිකළ  මෙම ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණය පුල්මුඩේ නිධියේ ගබඩාකර තිබීම නිසා ආයතනයට තවදුරටත් ඛනිජ වැලි ගබඩා කිරීමට ඉඩපහසුකම් අවම වීමෙන් පාඩුවක් සිදුවන බවයි.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිඩට් ආයතනයේ බලධාරීන් පවසා සිටියේ පවතින කොවිඩ් තත්ත්වය මෙම තොගය ඉවත්කරගැනීම සඳහා ඇති කාලය දීර්ඝ කළ බවයි. මෙම තොගයෙන් මුදල් ගෙවා ඇත්තේ මෙට්රික් ටොන් 65,000 ක් සඳහා පමණක් බවත් තවත් මෙට්රික් ටොන් 20,000 ක් සඳහා මුදල් අය කර ගැනීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය.

මේ පිළිබඳව විමර්ශනය කොට මසක් තුළ වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය. එසේම මෙම ඉල්මනයිට් තොගය කඩිනමින් ඉවත්කරගැනීම සහ ඊට අදාළ හිඟ මුදල අය කරගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස ද පැවසූ කමිටු සභාපතිවරයා මෙලෙස අමාත්‍ය මණ්ඩලය පත්කළ අනුකමිටුවක් මගින් මෙලෙස ටෙන්ඩර් ප්‍රදානය කළ ද මෙවැනි අවස්ථාවලදී මීට වඩා වගකීමකින් කරුණු සොයාබලා කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

කෝප් සභාපතිවරයා මේ බව පවසා සිටියේ පසුගිය 23 වන දින පැවති ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිඩට්’ ආයතනයේ කාර්යසාධනය විමර්ශනය කිරීමේ කෝප් රැස්වීමේදීය.

අතරමැදියන් විසින් මිලදී ගන්නා ඛනිජ වැලි තොග නිෂ්පාදනාගාරයේ රඳවා ගනිමින් කුඩා තොග වශයෙන් විදේශ ගැනුම්කරුවන්ට අලෙවිකිරීම පිළිබඳවත් මිනරල් සෑන්ඩ් ආයතනයේ සේවකයන් යොදා ගනිමින් අපනයනකරුවන්ගේ තොග පැටවීම ඇතුළු කටයුතු සිදුකිරීම පිළිබඳවත් මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය. ආයතනයට කිසිදු අමතර අයකිරීමකින් තොරව මෙසේ සිදුකිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් තිබේනම් එය වෙනස් විය යුතු බව පෙන්වාදුන් කමිටුව මේ පිළිබඳ සොයාබලා වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට දැන්වීය.

තවද ඛනිජ වැලි අලෙවිකිරීමේ නිශ්චිත ප්‍රතිපත්තියක් සකස්කිරීමේ වැදගත්කම පෙන්වාදුන් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත්වීමෙන් නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

ඛනිජ වැලි නිෂ්පාදන ඍජුව අපනයනය සඳහා යොදාගත් කොඩ්බේ ජැටිය ආයතනයට අහිමිවීමෙන් පසු එහි ටග් යාත්‍රා හා බත්තල් ආදී ඇති වත්කම් විකිණීම සඳහා තක්සේරු දෙපාර්තමෙන්තුව මගින් රු. මිලියන 32.3 ක තක්සේරුවක් ලබා දී ඇති අතර 2013 වසරේ සිදුකළ ලංසු කැදවීමේදී රු මිලියන 65 ක ඉහළ ලංසුවක් ලැබුණද එය විකිණීම සිදුනොවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මේ වන විට දිරාපත්වෙමින් පවතින මෙම වත්කම් නියමිත තක්සේරුවට වඩා දෙගුණයක ඉහළ මිලක් ලැබුණද විකිණීමට කටයුතු නොකිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් කළයුතු බව කෝප් කමිටුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා සිටියේය.

කෝකිලායි කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ඛනිජ වැලි ගවේශනය සඳහා 2013 වසරේදි රු. මිලියන 39 ක වියදමින් යන්ත්‍රෝපකරණ මිලදී ගෙන සේවකයන් 117 දෙනෙකු ද බඳවා ගෙන තිබුණද ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අවසර නොදීම නිසා අතහැර දැමීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය. මෙම ව්‍යාපෘතියට අදාළ නිසි අවසරය ලබා ගැනීමට පෙර සේවකයන් බඳවා ගැනීම සහ රු.මි. 39ක් වියදම්කිරීම ජාතික ධනය විශාල ලෙස අපතේ යාමක් බව පෙන්වා දුන් කමිටුව මේ පිළිබඳ සිය දැඩි අප්‍රසාදය පළ කළහ.

තවද මේ පිළිබඳ වහාම විමර්ශනය කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් කමිටු සභාපතිවරයා එම නිගමන සහ කෝප් කමිටු නිර්දේශ අනුව මීට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට   නීතිපතිවරයාට යොමුකරන ලෙස නිර්දේශ කළේය.

මෙම ව්‍යාපෘතිය ඛනිජවැලි ගවේශනය සඳහා රටට වාසිදායක ලෙස යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයාබලා ඉදිරි කටයුතු සිදුකරන ලෙස පරිසර අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතාට සහ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා සිටියේය.

එසේම මිලියන 117ක වියදමින් මිලදී ගත් යන්ත්‍රෝපකරණ 3ක් භාවිතා නොකිරීම පිළිබඳ මෙහිදී අනාවරණය වූ අතර මෙවැනි ක්‍රියා ජාතික ධනය විනාශ කිරීමක් බැවින් වගකීමකින් ක්‍රියා කළයුතු බව කමිටුව පෙන්වා දුන්නේය. රජයන් විවිධ අවස්ථාවලදී වෙනස් වුවද ආයතනයේ කාර්යභාරය පිළිබඳ මනා අවබෝධයක් ඇත්තේ ආයතනවල නිලධාරීන්ට බැවින් දේශපාලන අධිකාරිය වෙත වරද පැවරීමකින් තොරව ඒ පිළිබද වගකීම තමන් දැරිය යුතු බවද කෝප් සභාපතිවරයා අවධාරණය කළේය.

ආයතනයේ මානව සම්පත් කළමණාකරණයේ ගැටලු පිළිබඳවද අවධානය යොමුකළ කමිටුව ආයතනයේ සභාපතිවරයාගේ පෞද්ගලික සහකාර නම් තනතුරක් සඳහා විශාල මුදලක් ගෙවීම සම්බන්ධයෙන් විමසා සිටියේය. එ‍් පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන ලෙස කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් කමිටුව දන්වා සිටි අතර මේවන විට පුරප්පාඩු පවතින ආයතනයේ සාමාන්‍යාධිකාරි තනතුරු ඇතුළු තනතුරු කඩිනමින් පිරවීම සඳහා කටයුතු කරන ලෙස දන්වා සිටියේය.

රටට විදේශ විනිමය විශාල වශයෙන්  ‍ගෙනදිය හැකි ආයතනයක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිඩට් ආයතනය මීට වඩා ඵලදායි ආයතනයක් ලෙස පවත්වාගැනීමේ අවශ්‍යතාවය කමිටුව අවධාරණය කළේය. එසේම අමුද්‍රව්‍ය ලෙස ඛනිජ වැලි අපනයනය කිරීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමේ වැදගත්කමද කමිටුව පෙන්වා දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න , එස් රාසමානික්කම්, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි