ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් විමර්ශනය කිරීම සඳහා නව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදයෙන් යෝජනාවක්

දිනය : 2021-02-18

මෙරට කාන්තාවන්ට එරෙහිව සිදුවන අසාධාරණයන් සහ අකටයුතුකම් විමර්ශනය කිරීම සඳහා  පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කරන ලෙස කථානායකතුමාගෙන් ඉල්ලීමක් කිරීමට පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කළ බව එහි සභාපතිනී ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

කථානායකවරයාගේ අනුමැතිය සහිතව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එළඹෙන මාර්තු 09 වැනිදා මෙම කාරක සභාව පිහිටුවීම ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරිය සඳහන් කළාය.

ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේදී පැවති කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශයක් සිදු කරමිනි.

විශේෂයෙන් කාන්තාවන්ට සිදුවන විවිධ හිංසනයන්, ප්‍රචණ්ඩත්වයන්, වෙනස්කොට සැලකීම් සහ කිසියම් තනතුරක තම දක්ෂතාවය කුසලතාවය සහ හැකියාව අනුව ඉහළට යාමේදී කාන්තාවක් වීම නිසාම සිදුවන අකටයුතුකම් විමර්ෂණය කිරීමේ හැකියාව ඇති පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කාරක සභාවක අවශ්‍යතාවය සභාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

කාන්තාවන්ට නිසිතැන, සමතැන, මවට මුල්තැන ආදී වචන නිතර භාවිත වුවද සමාජය තුළ විවිධ ක්ෂේත්‍ර සලකා බැලීමේදී කාන්තාවක් වීම නිසාම වෙනස්කොට සැලකීම දක්නට ලැබෙන බවත් කාන්තාවගේ දක්ෂතාවය, හැකියාව සහ සුදුසුකම් මත ඉදිරියට යෑමේ අවහිරතා මගහැරවීමට මෙම කාරක සභාව මගින් හැකි වනු ඇති බවත් මන්ත්‍රීවරියෝ පෙන්වා දුන්හ. මෙම කමිටුවේ විශේෂත්වය වන්නේ එය කාන්තා සහ පිරිමි මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත වීමයි.

මෙම අවස්ථාවට අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල, රෝහිණි විජේරත්න, ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියන් පිරිසක් සහ සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණි රෝහණදීර මහත්මිය ද සහභාගි වූහ.

 

 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි