ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මාර්ගගත ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673 ක් අහිමි වෙයි

දිනය : 2021-01-12

මහපොළ  භාරකාර  අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු  හරහා අළෙවි  කිරීම හේතුවෙන් එම පුද්ගලයා  එමගින් උපයා ඇති රුපියල් මිලියන 673 ක මුදල මහපොළ  භාරකාර  අරමුදල වෙත ලැබී නොමැති බව ‘කෝප්’ කමිටුවේදී අනාවරණය විය.

මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය හට කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දුන්නේය.

ඒ මහතා මෙම දැනුම් දීම සිදු කළේ පසුගිය 08 වනදා කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ එස්.එම්. මරික්කාර්, යන මහත්වරු මීට සහභාගී වුහ.

තවද, මහපොළ  භාරකාර  අරමුදල යටතේ පවතින පාලිත සමාගම්හි  සුරැකුම්පත් ගනුදෙනු තුළින් ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්‍රතිලාභ නොලැබීම හේතුවෙන් 2015/2016 වර්ෂ වලදී රු. මිලියන 18ක් හා රු. මිලියන 102 අලාභයක්ද, 2017 වර්ෂයේ නැෂනල් වෙල්ත් සංස්ථාව හි ආයෝජන උපයෝගී කොට ගෙන කළ ප්‍රතිමිළදී ගැනීම් වල ගනුදෙනු තුළ රු. මිලියන 13ක අලාභයක් සිදුවී තිබෙන බවද  පෙන්වා දුන් කෝප් කමිටුව මෙම අක්‍රමිකතා හේතුවෙන් අරමුදලට  මහත් වූ අලාභයක් සිදුව ඇති බව අවධාරණය කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කරණු  දැක්වූ නිලධාරීහු  මෙම ආයතන තවදුරත් පාඩු මත පවත්වාගෙන යාම අනවශ්‍ය බැවින් ඈවර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලැබී තිබෙන බව පැවසුහ. ඒ සම්බන්ධයෙන් අදහස්  දැක්වූ කෝප් සභාපති  මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුයේ නිසි පුද්ගලයන් හට නිසි දඩුවම් ලබා දීමෙන් අනතුරුව මෙය ඈවර කිරීම ගැටළුවක් නොවන නමුදු මෙවැනි මහා පරිමාණ වංචාවක් සිදුව ඇති අවස්ථාවක නිසි පරීක්ෂණයකින් තොරව  මෙම ආයතන එලෙස ඈවර කිරීම නුසුදුසු බවය.

ඒ අනුව මහපොළ  භාරකාර  අරමුදල  යටතේ පවතින පාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් සංස්ථාව සහ නැෂනල් වෙලත් සිකියුරිටිස් සංස්ථාව  මගින් සිදුව ඇති අක්‍රමිකතාවය පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව  එම ආයතන දෙකම හැකි ඉක්මනින් කෝප් කමිටුව හමුවට කැඳවීමටත්, මෙම අක්‍රමිකතාවය පිළිබඳව නිසි ලෙස නිරීක්ෂණය කරන තුරු  ඈවර කිරීම ප්‍රමාද කිරීම කළ යුතු බවට කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT)  වර්තමාන තත්වය පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වූ අතර ආයතනයේ වර්තමාන තත්වය පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වූ අතර එම ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා තිබුනද එම ආයතනය එසේ පැමිණීම නෛතිකව කිරීමට බැඳී නොමැති බව ජුලියස් ක්‍රේසි (Julius & Creasy) ආයතනය මගින් කෝප් කමිටුවට දන්වා එවීම පිළිබද සිය අප්‍රසාදය පළ කළ කෝප් කමිටුව මේ තත්වය පිලිබඳව කරුණු නිරාකරණය කරලීම සඳහා පළමු කොට  ජුලියස් ක්‍රේසි (Julius & Creasy) ආයතනය කැඳවිය යුතු බව තීරණය කරනු ලැබීය.

ඒ අනුව SLIITආයතනය ජාතික  වැදගත්කමකින් යුත් ආයතනයක් වන බැවින්, එම ආයතනය  සම්බන්ධ සාකච්ඡාවේ දිගුවක් ලෙස   අභ්‍යන්තර වාර්තාවක් සකස්  කොට පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීමෙන් අනතුරුව  මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව නිගමනයකට එළඹීම යෝග්‍ය බව කෝප් කමිටුව විසින් තවදුරටත්  නිර්දේශ කරනු ලැබිය.

තවද, අභ්‍යන්තර විගණකාධිපතිවරයෙකු හා ගණකාධිවරයෙකු  ආයතනය සතුව නොමැති බවට අනාවරණය විය. හැකි ඉක්මනින්  මෙම පුරප්පාඩුව පිරවීමට කටයුතු කරන මෙන් කෝප් කමිටුව නිර්දේශ කරන ලදී.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ ආයෝජන කළමනාකරණය සම්බන්ධව විශේෂ විගණන වාර්තාව මත සහ එම අරමුදලේ වර්තමාන කාර්යසාධනය පරික්ෂා කිරීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාව ඒ අනුව කෝප් කමිටුව හමුවේ සාකච්ඡාවට බඳුන් කරනු ලැබීය.

 

1

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි