ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වාර්ෂිකව වැඩියෙන්ම අලි මරණ සිදුවන රට ශ්‍රී ලංකාවයි - ‘කෝපා’ කමිටුවේදී අනාවරණය වෙයි

දිනය : 2020-12-09

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පසුගිය 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී ( කෝපා ) අනාවරණය විය. එසේම අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් එහි පළමු තැන ඉන්දියාව බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිදරව් විය.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම සම්බන්ධ විශේෂ විගණන වාර්තාව පදනම් කරගනිමින් පැවැත්වූ  රජයේ ගිණුම් කාරක සභාවේදී අලි මිනිස් ගැටුම සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා කමිටුවට අලිමිනිස් ගැටුමේ වර්තමාන තත්ත්වය පැහැදිළි කරමින්  මේ බව අනාවරණය කළේය.
   
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බවද ගිණුම් කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා අනාවරණය කළේය. එසේම අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන  මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ  මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බව මෙහිදී හෙළි විය.

එබැවින් මේවන විට ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති ‍ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම විසදීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාළ ආයතන එක්ව මීට වඩා කාර්යක්ෂම වැඩපිළිවෙලක් සමග කටයුතු කිරීමේ අවශ්‍යතාව කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඇතුළු කෝපා කමිටු සාමාජිකයෝ  මෙහිදී අවධාරණය කළහ. එසේම  වසර 60ක කාලයක් තුළ මෙම අලි මිනිස් ගැටුම විසඳීමට උත්සහ කළද එය වැඩිවීමක් මිස සැලකිය යුතු ප්‍රගතියක් නොලබා ඇති බැවින් නව ප්‍රවේශයක් ඔස්සේ ‍මීට විසඳුම් සෙවිය යුතු බවද කෝපා සභාපතිවරයා පෙන්වා දුන්නේය

එබැවින් අලි මිනිස් ගැටුව අවම කිරීමේ මූලික පියවරක් ලෙස  අවශ්‍ය ගැටලු නිරාකරණය කිරීමට අදාළ සියලු ආයතන සමග ජාතික සම්බන්ධීකරණ කමිටුවක් ඉතා කඩිනමින් පිහිටුවන ලෙස කෝපා කමිටුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී නියෝග කළේය.

අලි මිනිස් ගැටුම පාලනය සඳහා සාර්ථකම ක්‍රමවේදයක් ලෙස හඳුනාගෙන තිබූ අලිවැට 2016 වසර වන විට කි.මී. 4211ක් ඉදිකර තිබුණද ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් කෙටි කලක් තුළ අක්‍රීය වීම බලවත් ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය. විදුලි වැට නඩත්තුව සඳහා වසරකට රු. මිලියන 86ක මුදලක් වැය කළද දිනපතා මෙම කාර්ය ඉටුවන්නේද යන්න පිළිබද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුවිපරමක් සිදුකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. තවද ජනතාවගේද සහයෝගය ලබා ගනිමින් මෙම කටයුත්ත සිදුකළ යුතු බවත් කමිටුව පෙන්වා දුන්නේය.

තවද අලිවැට ඉදිකිරීමේදී එය තම භූමියේ මායිමක් යැයි සිතා ඇතැම් ප්‍රදේශවල ජනතාව දක්වන විරෝධය හේතුවෙන් බොහෝ ඉදිකිරීම් අතරමග නතර කරන්නට සිදුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. කමිටුව පෙන්වා දුන්නේ වඩාත් සුහදශීලීව කටයුතු කරමින් ජනතාවට සත්‍ය පහදා දීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළ යුතු බවයි.

තවද සිවිල් ආරක්ෂක බලකාය විසින් අලිවැට නඩත්තු කිරීමේ කටයුතු සිදු කළද ඒ සඳහා කිසිදු ගිවිසුමක් නැති වීම විශාල අඩුපාඩුවක් බව කමිටුව පෙන්වා දුන්නේය. කිසිඳු ගිවිසුමකින් තොරව 2020 වසර සඳහාද මිලියන 150 ක මුදලක් සිවිල් ආරක්ෂක බලකායට ලබා දී ඇති බවත් කඩිනමින් මේ සදහා පියවර ගතයුතු බවත් කමිටුව අවධාරණය කරන ලදී. එසේම මේ පිළිබඳව සති 3ක් තුළ වහාම වාර්තාවක් ලබා දෙන ලෙසද කමිටු සභාපතිවරයා දැන්වීය.

අලිමිනිස් ගැටුම පවතින ප්‍රදේශවල පිහිටුවන ලද ගජමිතුරෝ නම් ග්‍රාමීය කමිටු මේවන විට අක්‍රීය වීම පිළිබඳව මෙ‍හිදි කමිටුවේ අවධානය යොමුවිය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනතාව සමග වඩාත් සුහදශීලීව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

අලින්ට තුවාල සිදුකර මරා දැමීම සම්බන්ධ වරදකරුවන්ට විරුද්ධව චෝදනා ගොනුකොට දඬුවම් ලබා දීම ඉතා මන්දගාමීව සිදුවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. අලි විශාල ප්‍රමාණයක් මිනිසුන් අතින් ඝාතනය වුවද අලි මරණ කිහිපයක් සදහා පමණක් චෝදනා ගොනු කිරීම ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය. එබැවින් ‍ඒ සඳහා සක්‍රීයව මැදිහත්වන ලෙස කමිටුව වනජීවී නිලධාරීන්ට නියෝග කළේය.

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභාවට ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, යන මහත්වරුද තිස්ස අත්නනායක, ගුණපාල රත්නසේකර , වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරිහු ද සහභාගී වූහ.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි