ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කඩවත සිට මීරිගම දක්වා අධිවේගයේ කටයුතු මන්දගාමි වීම පිළිබඳව මහාමාර්ග ඇමතිවරයා වහාම වර්තාවක් කැඳවයි

දිනය : 2020-12-08

කඩවත සිට මීරිගම දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කටයුතු ඉතා මන්දගාමීව සිදුවීමත් එහි ඉලක්ක නිසි ලෙස සපුරාලීමට අපොහොසත් වීමත් පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා  ඒ පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කළේය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අධිවේගී මාර්ගයේ කටයුතු නිසි ලෙස සිදු නොවන බවට කරුණු දැක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම නියෝගය සිදු කළේය.

ඒ මහතා මෙසේ නියෝග කරනු ලැබුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේ පැවති මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදීය. ඒ අනුව අධිවේගී මාර්ගයේ කටයුතු වහා කඩිනම් කරන ලෙස නියෝග කළ අමාත්‍යවරයා තමන් සමඟ ඉදිකිරීම් කටයුතු නැරඹීමට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ අතර  ඒ සඳහා ඉක්මනින් දිනයක් ද ලබා දෙන බව පැවසුවේය.

ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදු වුවද දෙවන ගෙවීම සිදු කරන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ අතර වහාම එම ගෙවීම් නතර කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට නියෝග කළේය. සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු නොවන ව්‍යාපෘතීන්ට මුදල් නොගෙවන ලෙස ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරෙන මාර්ග සංවර්ධන වැඩසටහනට නුසුදුසු ‍කොන්ත්‍රාත්කරුවන් යොදා ගැනීම නිසා ගැටලු රැසක් මතුවී, ව්‍යාපෘතිය ප්‍රමාද වී තිබෙන හෙයින් අදාළ කාල රාමුව තුළ වැඩ අවසන් නොකළ එවැනි කොන්ත්‍රාත්කරුවන්ගේ ගිවිසුම් තහනම් කිරීමටත් එම කොන්ත්‍රාත්කරුවන් අසාධු ලේඛන ගත කරන ලෙසත් අමාත්‍යවරයා නියෝග කළේය. එම වැඩ අවසන් නොකරන ලද කොන්ත්‍රාත්තු අදාළ කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත් කර ඒවා සම්පූර්ණ කිරීම මහාමාර්ග අමාත්‍යංශයේ ඉදිකිරීම් අංශය වෙත භාරදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නුවරඑළිය පළාතේ මාර්ග සහ යක්කලමුල්ල ප්‍රදේශයේ මාර්ග පිළිසකර කර දෙන ලෙසද  අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන සඳහා පිවිසුම් මාර්ග ක්‍රමයක් හඳුන්වාදී එම මාර්ගද කඩිනමින් සකස් කර දෙන මෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානය යොමු කර වූ අතර ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා පොරොන්දු විය.

මීට අමතරව, වක්වැල්ල, දොඩංගොඩ, යටියන්තොට නගරයේ ඇති ප්‍රධාන පාලම යනාදී  පාලම් ප්‍රතිසංස්කරණයටද , හිමදුම ආසනයේ ඇති විශාල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණයද , ගිංගඟ හරහා මාරු විය නොහැකි ගම්වලට පාලම් ලබාදීමද මන්ත්‍රීවරයන් විසින් මෙම කාරක සභාවේ අවධානයට  යොමු කරවන ලදී.

‍සෙත්සිරිපාය හරහා උඩහමුල්ල සහ කොස්වත්තට යන මාර්ගය, යටියන්තොට ආසනයේ මාර්ග, පොළොන්නරුව අරලගංවිල මාර්ගය, වැලිකන්දේ සිට සෝමාවතියට යන මාර්ගය, බිබිලේ සිට අම්පාරට පැමි‍ණෙන මාර්ගයද මෙසේ අමාත්‍යවරයාගේ  අවධානයට ලක්වුණු අතර නාගරික ප්‍රදේශවල  ඇති කාණු පද්ධති සහ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන කම්කරුවන්ට සිදු කරන සේවය වෙනුවෙන් දෛනික වැටුපක් ලබාදීමෙන් නිසි ප්‍රමිතියෙන් කටයුතු සිදු කළ හැකි බවත්, නගර අලංකරණය සඳහා විශේෂ වූ ඒකකයක් සකස්කළ හැකිනම් එය වඩාත් යෝග්‍ය බව ද කමිටුවේදී යෝජනා කෙරිණි.

පාර්ලිමේන්තුවේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් පැවති මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු  සහභාගි වූහ.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි