ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගල් අඟුරු මිලදී ගැනීමේදි රුපියල් බිලියන 1.1 ක පාඩුවක්

දිනය : 2020-10-07

ශ්‍රී ලංකා ගල් අගුරු සමාගම ගල් අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමේදි ගල් අඟුරු කැටවල ප්‍රමාණය සඳහන් නොවීම හේතුවෙන්,  රුපියල් බිලියන 1.1 ක පාඩුවක් සිදුව ඇති බව ඊයේ (06) පාර්ලිමේන්තුවේදි පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදි කරුණු අනාවරණය විය.

ශ්‍රී ලංකා ගල් අගුරු සමාගම දිගුකාලීන ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කෙටිකාලීන ක්‍රමවේදය යටතේ ගල්අගුරු මිලදීගැනීම සිදුවී ඇත්තේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව  බවද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී අනාවරණය විය.

මෙම කරුණු අනාවරණය වුයේ ශ්‍රී ලංකා ගල් අගුරු සමාගම මගින් සිදුකරන ලද ගල් අගුරු ම්ලදීගැනීම් සම්බන්ධයෙන් විමසීමට එම සමාගමේ ඉහළ නිළධාරීන් පිරිසක් කැදවමින් පාර්ලිමේන්තුවේදී  පැවැත්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ පළමු රැස්වීමේදී ය.

 පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ගරු  චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව  මෙසේ ඊයේ (06)  රැස්වූ අතර අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්  වන පාඨලී ජම්පික රණවක, එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත, එස්.එම්. මරික්කාර්, රවුෆ් හකීම්,  යන මහත්වරු මීට සහභාගී වුහ.

මෙහිදී දීර්ගකාලීන ක්‍රමවේදයෙන් තොරව කෙටිකාලීන ක්‍රමවේදය යටතේ ගල්අගුරු මිලදීගැනීම මගින් වෙළඳ පොළේ සිදුවන මිල උච්ඡාවචනය වීමේ වාසිය ලබාගැනීමට තමන් බලාපොරොත්තු වූ බව එම නිළධාරීහු කමිටුවට පැවසූහ. නමුත් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව යමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති  චරිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුණි.
 
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක්කොට ඇත්තේ මෙගාවොට් 900 විදුලි අවශ්‍යතාවයක් සපුරාලීමට වුවද එහි මෙගාවොට් 90 රික්තකයක් පවතින බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මේ අනුව සැබෑ වශයෙන්ම නිපදවෙන්නේ මෙගාවොට් 810ක් පමණක් බවත් මෙගාවොට් 90 රික්තකයක් යනු නොසලකාහැරීමට නොහැකි විදුලි අවශ්‍යතාවක් බව කෝප් කමිටුව හමුවේදී තවදුරටත් අනාවරණය විය.

අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටු ලේකම්වරයා අවස්ථා 8කදී ප්‍රසම්පාදන කමිටුවේ නොසිට අතිරේක ලේකම්වරයෙක් ඒ සඳහා යොදවා ඇති බව අනාවරණය වී ඇතිබවත් මේ නිසා ගන්නා තීරණ නීත්‍යානුකූලබව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත්  කෝප් කමිටුවේදී අවධානයට ලක්විය. කෙසේ නමුත්  අතිරේක ලේකම්වරයෙක් මේ සඳහා යෙදවීමට හැකියාව පවතින බව පැමිණසිටි නිළධාරීහු පැවසූහ. මෙය නිවැරදිද යන්න සොයාබලා වහාම වාර්තාවක් කොප් කමිටුවට ලබාදෙන ලෙස සභාපතිවරයා නිර්දේශ කළේය.

මිලියන 1100 වියදමින් ලංකා බිදුලිබල මණ්ඩලය මිලදීගත්  බත්තල් 3ක් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිහරණයට ලබාදී ඇත්තේ ඇයිද යන්න පිළිබඳව කමිටුවේදී ප්‍රශ්න කෙරුණ අතර මෙම බත්තල් ශ්‍රී ලංකා නාවික හමුදාවට බාරදුන් ක්‍රමවේදය, ඒවා නඩත්තුකිරීමට නොහැකිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ වාර්තාවක් වහා ලබාදිය යුතුයැයි කොප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කළේය.  

එසේම ගල් අගුරු සැපයීම සම්බන්ධව වසර 5 පලපුරුද්දක් අවශ්‍ය බව පුවත්පත් දැන්වීම් වල ඵලකොට තිබුණද අයදුම්පත් නිකුත් කිරීමේදී වසර 3 පලපුරුද්ද සහිත ආයතන වෙත අයදුම්පත් නිකුත්කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි. මේ නිසා ගල් අගුරු සමාගමට අවාසි සහගත තත්ත්වයක් ඇතිවී ඇති බවද කමිටුවේ අදහස විය. ලංසුකැඳවීමේ අවසන් දිනය පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් නොපවතින බවත් කමිටුව විසින් සාකච්ඡාවට බඳුන් කරන ලදි. මේ කාරුණු පිළිබඳව විධිමත්ව සොයාබැලිය යුතු බව කමිටුව තීන්දු කළේය.

ගල්අගුරු මිලදීගැනීමට  ශ්‍රී ලංකා නැව් සංස්ථා සම්බන්ධවීම මගින් සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රමය යටතේ වෙනත් ආයතනයක් හරහා ගල්අගුරු මිලදීගැනීමට වඩා පාඩුවක් සිදුවන්නේද යන්න පිළිබඳවද කමිටුවේ අවදානය යොමුවිය. මේ සම්බන්ධයෙන් සොයාබලා  හැකි ඉක්මනින් වාර්තාවක් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බවටද මෙහිදී කමිටුව විසින් නිර්දේශ කරන ලදි.
එසේම ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා නැව් සංස්ථාව, ලංකා ගල් අගුරු සමාගම, අදාල රේඛීය අමාත්‍යාංශය යන ආයතන 4 නිතර හමුවී සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද කමිටුවේ අවදානය යොමු වූ අතර ඩීසල් බලාගාර සහ ගල් අගුරු බලාගාර සඳහා යන වියදම පිළිබඳවද කොප් කමිටු සාමාජිකයන්ගේ අවධානය යොමුවිය.
 
සාකච්ඡා කළ මෙම කරුණු සම්බන්ධව සියලු වාර්තා මාසයක් ඇතුළත කොප් කමිටුව වෙත ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් මෙහිදී අවසාන වශයෙන් නිර්දේශ කරන ලදී.

 

cope

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි