ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ තුළින් වසර 62 කට පසු ගුරු උපදේශක සේවාවක්

දිනය : 2019-12-05

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවය කරනු ලබන ගුරු උපදේශකවරුන් ගුරු උපදේශක සේවාවක් ලෙස ස්ථාපනය කිරීම සඳහා අදාල අනුමැතිය  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ඇතුළත පියවර ගන්නා  ලෙස අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන්ට පාර්ලිමේන්තුවේදී අද (05) නිර්දේශ කළේය.

 

මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවී ඇති මීට අදාල ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේද අනුමැතිය හිමි වී ඇති අතර නැවත ඒ බව කැබිනට් මණ්ඩලට දැනුම් දීමෙන් අනතුරුව ගැසට් පත්‍රය පළ කෙරෙනු ඇත.

 

වසර 60 කට ආසන්න කාලයන් තුළ නොවිසදුණු මෙම ගැටලුවට විසදුම් ලබා දීමට ගත් තීරණයත් සමග 4971 ක පිරිසක් ගුරු උපදේශක සේවයට එක්වීමට නියමිතය.

 

කාරක සභා සභාපති ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වු අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබු  අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණි කුමාරී විජේරත්න මහත්මිය සහ තුරෙයිරත්නසිංහම් මහතා ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

 

මෙම සේවාව ස්ථාපනය කිරීමත් සමග අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති ශ්‍රී ලංකා ගුරු සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ආදිය අතරට අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහල නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුරු උපදේශන සේවය ද අලුතින් එක්වේ. තවද මෙමගින් පවතින ගුරු හිඟයට ද පිළියමක් ලැබෙන බව කමිටු සාමාජිකයෝ පැවසූහ.

 

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නොවිධිමත් අධ්‍යාපනය සදහා 1994 වසරේ බදවා ගැනුණුව්‍යාපෘති නිලධාරීන්ගේ තනතුර සම්බන්ධව වසර 24කට අධික කාලයක් මුළුල්ලේ පැවති නොවිසඳුනු සේවා ගැටලු අනු කාරක සභාවේ විමර්ශනයට ලක්වු අතර ඔවුන් MN - 6  යන වැටුප් තලයේ පිහිටුවීමට අදාල කටයුතු කඩිනමින් අවසන් කොට අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයන්ට කාරක සභාව උපදෙස් ලබා දුන්නේය. මේ අනුව දැනට සේවයේ නියුතු 198 දෙනෙකු මෙම වැටුප් තලයට අන්තර් ග්‍රහණය කිරීම සිදුවේ.

 

මීට අමතරව ජාතික ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සකස් කිරීමට අදාල කටයුතුවල ප්‍රගතිය පිළිබඳව කාරක සභාවේ අවධානයට ලක් විය. ගුරු සංගම් 16 ක් සමග පසුගිය කාරක සභාවල පැවති සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනෙකුත් ක්ෂේත්‍රවලට සමානව සකස් කෙරෙන අතර එය  ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

 

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම මගින් සියලු කාරක සභා අහෝසි වන බව බවට වැරදි මතයක් ජනතාව තුළ ඇති බව පැවසූ කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මහතා, ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය තුළ දේශපාලන භේදයකින් තොරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාගේ සහය ලැබුණු බැවින් ඊට ස්තුතිය පළ කරමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය අතිශය වැදගත් බව අවධාරණය කළේය.

  

1

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි