ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වෙයි - නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම්දීමේන් පසු නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම හෙට

දිනය : 2024-12-16

  • පාර්ලිමේන්තුව හෙට (දෙසැ. 17) සහ අනිද්දා (දෙසැ. 18) රැස්වෙයි
  • පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය හෙට සහ අනිද්දා...
  • ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන විවාදය හෙට ප.ව 3.00 සිට ප.ව 6.30 දක්වා....

 

පාර්ලිමේන්තුව හෙට (17) පෙ.ව. 9.30ට රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිත බවත් අනතුරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවන බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

අද (16) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී තිබේ. දෙසැම්බර් 17 සහ 18ට දෙදිනට අදාළව පෙර තීරණය කළ පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් ද මෙහිදී සිදුව ඇත.

දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 9.45 දක්වා නව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව/ දිවුරුම ලබා දීම සඳහා කාලය වෙන්කර ඇත. සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයන් තිදෙනෙකු සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරයෙකු මෙසේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ඉන්අනතුරුව නව කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව යොමුවනු ඇත. ඉන්පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා මන්ත්‍රීවරයන්ට අවස්ථාව සැලසේ.

අනතුරුව පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා විවාදයට ගෙන එම විවාදය 2024.12.18 වැනි දිනට ද පැවැත්වීමට තීරණය වී ඇත. මේ අනුව පෙර තීරණය කළ පරිදි 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව මෙදින විවාදයට ගැනීම සිදු නොවනු ඇත.

ඉන්පසු ප.ව. 3.00 සිට ප.ව. 6.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත. නව කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට කාලය වෙන් කිරීම හේතුවෙන් විවාද කාලය මෙසේ පැයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ.

දෙසැම්බර් 18 වැනි දා බදාදා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

අනතුරුව පෙර දින කල්තබන ලද, පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ. මේ අනුව පෙර තීරණය කර තිබූ අතිවිශේෂ ගැසට් පත්‍රවල සඳහන් නියෝග හා රෙගුලාසිවලට අදාළ විෂයයන් ඉදිරි දිනකදී විවාදයට ගැනීමට එකඟත්වය පළවී ඇත.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සදහා කාලය වෙන් කර ඇත.

 

13 10

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි