ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීමට, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගතකිරීමේ ක්‍රියාවලිය ඔස්සේ ලැබෙන දායකත්වය පිළිබඳ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ

දිනය : 2024-04-04

  • ප්‍රතිව්‍යුහ ගතකිරීමේ ක්‍රියාවලිය සඳහා තෝරා ගෙන තිබෙන ආයතන,  පසුගිය වසර 10 තුළ  ව්‍යාපාර සිදුකළ ආකාරය ගැන සියලු දත්තයන් සහිත වාර්තාවක් ලබා දෙන්න - කාරක සභාවෙන් නිර්දේශයක්
  • රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහ ගතකිරීම සඳහා පත්කළ ඒකකයේ නිත්‍යානුකූල භාවය ගැන වාර්තාවක් ලබා දෙන්න - කාරක සභාවෙන් මුදල් අමාත්‍යාංශ  නිලධාරීන්ට උපදෙස්

 

වර්තමානය වනවිට ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව සලකා බැලීම ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  සිදු විය. ඒ එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (අප්‍රේල් 01) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙදින කාරක සභාව හමුවට රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහ ගතකිරීම සඳහා පත්කළ ඒකකයේ  නිලධාරීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් කැඳවා තිබුණි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මගින් මෙම ඒකකය පත්කර ඇති බව එම නිලධාරීහු කරක සභාවට දන්වමින් ඔවුන්ගේ කාර්ය භාරය පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ. ඒ අනුව වර්තමානය වනවිට ආයතන 07ක් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහ ගතකිරීම සඳහා පත්කළ ඒකකයේ  නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. Srilankan Airlines Ltd., Sri lanka Telecom PLC, Sri lanka Insurance Corporation Ltd , Hotel Developers Ltd, Canwill Holdings (Pvt) Ltd, Litro Gas and Litro Gas Terminals Ltd, Lanka Hospitals Corporation PLC යන ආයතනයි එලෙස  ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එක්කොට ඇත්තේ.ප්‍රතිව්‍යුහ ගතකිරීම යටතේ කමිටුවට පැවරී ඇති වගකීම  පිළිබඳව  අදහස් දක්වමින් එම නිලධාරීහු මෙම ආයතනවල අයිතිය රජයෙන් ස්වාධීන කිරීම හා ඉන්පසු ලංසු කැදවා පෞද්ගලික අංශයේ දේශීය හා විදේශීය ආයෝජකයන්ට ලබාදීම  බව නිශ්චිතව ප්‍රකාශ කළහ. එමෙන්ම  මේ වන විටත් ආයතන කීපයකට අදාළව (EOI) Expression of Interest කැදවා ඇති බවද ඔවුහු  ප්‍රකාශ කළහ.

මෙහිදී කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්  විසින් මෙලෙස රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහ ගතකිරීම ඔස්සේ මෙරට සමාජ , ආර්ථික හා ජාතික ආරක්ෂාව යන අංශයන්ට එල්ලවිය හැකි බලපෑම සම්බන්ධයෙන් එම ඒකකයේ නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. ඒ අනුව කාරක සභා සභාපතිවරයා විසින් මෙලෙස ප්‍රතිව්‍යුහ ගතකිරීම සඳහා නම් කර ඇති ආයතනවල පසුගිය වසර 10 තුළ  සිදු කෙරුණු ව්‍යාපාර කටයුතු වල සම්පුර්ණ දත්ත වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහ ගතකිරීම සඳහා පත්කළ ඒකකයේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. එමෙන්ම මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීමට රාජ්‍ය ආයතන  ප්‍රතිව්‍යුහ ගතකිරීමේ ක්‍රියාවලිය ඔස්සේ ලැබෙන  දායකත්වය පිළිබඳවද  වාර්තාවක් සකස් කර යොමු කරන ලෙසට කාරක සභාව විසින් උපදෙස් ලබාදෙන ලදී.

එමෙන්ම මෙම  රාජ්‍ය ආයතන  ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලිය  ඔස්සේ  ජාතික ආරක්ෂාව හා සම්බන්ධව පවතින කරුණු  ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  වැඩි දුරටත් සාකච්ජා කිරීමට  යොමු කරන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා  විසින්  මෙම කරුණු මෙලෙස දීර්ඝ ලෙස කාරක සභා තුළ  සාකච්ජා කිරීම ඔස්සේ වඩාත් විනිවිධ භාවයකින් මෙන්ම කාර්යක්ෂමව  සියලුම වැඩ කටයුතු සිදු කිරීමේ හැකියව පවතින බව පෙන්වා දෙන ලදී. ඒ සඳහා උදාහරණයක් ගෙන හැර දක්වමින් කාරක සභා සභාපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය තොරතුරු කාර්යංශයට (CRIB) ලබා දුන් නිර්දේශයක් අනුව මහජනතාවට තමන් CRIB වල සිටිනවාද නැද්ද යන්න පිළිබඳව පහසුවෙන් දැනගැනීම සඳහා දුරකථන  යෙදවුමක් නිර්මාණය කර ඇති බව පෙන්වා දුන්නේය.එම කටයුතු නුදුරු දිනකදීම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින බව කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.   

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු (ආචාර්ය) සරත් වීරසේකර, ගරු (වෛද්‍ය) ගයෂාන් නවනන්ද, ගරු ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන, ගරු සහන් ප්‍රදීප් විතාන ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රී  පුජ්‍ය අතුරලියේ රතන හිමි, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ගරු කබීර් හෂීම් , ගරු එරාන් වික්‍රමරත්න, ගරු සිවඥානම් ශ්‍රීතරන්, ගරු අසංක නවරත්න, ගරු ජගත් ප්‍රියංකර යන මහත්වරුන් ද ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

 

9 3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි