ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කෙරේ

දිනය : 2024-02-28

  • පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය ලබා ගැනීමටත් පියවර

 

ළමා දිවා සුරැකුම් පහසුකම් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකස් කරන ලද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතීඥ) තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මේම සාකච්ඡාව සිදුවිය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ළමයින් සම්බන්ධ කරුණු පළාත් සභාවල විෂය පථයට අයත් වන බැවින් මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වන නීතිමය ගැටලු පිළිබඳව කාරක සභාවේ පසුගිය රැස්වීමේදී අවධානය යොමු විය. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අදහස් විමසීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

මෙම සාකච්ඡාවට පළාත් ප්‍රධාන ලේකම්වරුන්, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, වෙරිටේ පර්යේෂණ ආයතනයේ නියෝජිතයන් සහ ආංශික අධීක්ෂණ කාරක සභාවට පත් කළ තරුණ නියෝජිතයෝ සහභාගි වූහ. එමෙන්ම පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම රැස්වීමට සම්බන්ධ විය.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිතවරිය පෙන්වා දුන්නේ  පරිවාස හා ළමාරක්ෂක සේවා සම්බන්ධ කටයුතු පළාත් සභා විෂය පථය යටතේ පවතින නමුත් දැනට පළාත් සභා ස්ථාපිත කර නොමැති බැවින් මධ්‍යම රජයට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි බවයි. එසේම, මෙම ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණහොත් පළාත් සභා තුළ ද එය ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් මතු නොවන බව ද පළාත් ප්‍රධාන ලේකම්වරු මෙහිදී පෙන්වා දුන්හ. තවද ළමා දිවා සුරැකුම් පහසුකම්වලට අදාළ වත්මන් ක්‍රමවේදයන් පිළිබඳව කාරක සභාව දැනුවත් කළ පළාත් ප්‍රධාන ලේකම්වරු, මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් මුළු රටටම පොදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ හැකි බව පෙන්වා දුන්හ.

ඒ අනුව, උක්ත ජාතික ප්‍රතිපත්තිය පළාත් ආණ්ඩුකාරවරුන් වෙත ද ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගන්නා ලෙස කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතීඥ) තලතා අතුකෝරල මහත්මිය මෙහිදී උපදෙස් ලබා දුන්නාය.

මෙයට අමතරව, ළමයින්ට එරෙහි හිංසනයන් වැළැක්වීම සහ ඒ සඳහා ක්‍රියාත්මක වන ආයතන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ද කාරක සභාවේ  දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මෙම කාරක සභාවට විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රෝහිණී කුමාරි විජේරත්න සහ ගරු ඩී. වීරසිංහ යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි