ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නව නිවෙසක් සෑදීමේදී මරු සිටින දිශාව පමණක් නොව හිරු සිටින දිශාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වෙයි

දිනය : 2024-02-13

  • නොමිලේ LED විදුලි බල්බ ලබා දුන්නොත් මාස 2ක් ඇතුළත එම මුදල උපයාගත හැකියි - ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වෙයි

 

නව නිවෙසක් සෑදීමේදී මරු සිටින දිශාව පමණක් නොව හිරු සිටින දිශාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (පෙබ. 08) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වූ අතර එම අධිකාරියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව කමිටුව හමුවේ ඉදිරිපත්කිරීමක් සහිතව පැහැදිලි කිරීම එම නිලධාරීන් විසින් සිදු කරන ලදි.

මේ අනුව මෙහිදී නව නිවෙසක් සැකසීමේදී එම නිවසේ සූර්ය පැනල සවිකිරීමට ස්ථානයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට පළාත් මට්ටමෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කොට ඇති බවත් බස්නාහිර සහ වයඹ පළාත්වල මේ වන විට මෙම දැනුවත් කිරීම් ආරම්භ කොට ඇති බවයි. නමුත් ගුප්ත විද්‍යාව මත පදනම්ව මරු සිටින දිශාව පිළිබඳ ජනතාව සැලකිලිමත් වුවත් හිරු සිටින දිශාව පිළිබඳ සැලකිලිමත් නොවන බන මෙහිදී නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය. සූර්ය පැනල සවි කිරීමේදී මෙම තත්ත්වය ගැටලුවක් වී ඇති බවත් ඔවුහු සඳහන් කළහ.

මේ නිසා මෙම තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් ජනතාව දැනුවත් කර සූර්ය පැනල සවි කිරීම සම්බන්ධයෙන් ජනතාව උනන්දු කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දුන්නේය.

එසේම විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා LED  විදුලි බල්බ භාවිතය දිරිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මැදිහත්වීමෙන් LED  විදුලි බල්බ මිල අඩු කිරීමටත් ඒවා ජනතාව අතර ප්‍රචලිත කිරීමටත් හැකි වූ බවයි. විශේෂයෙන්ම  LED  විදුලි බල්බ භාවිතය මගින් විදුලි බිල අවම වීමේ ප්‍රතිශතය සැලකිල්ලට ගෙන  නොමිලේ LED විදුලි බල්බ ලබා දුන්නොත් මාස 2ක් ඇතුළත එම මුදල උපයාගැනීමට රජයට හැකි බව මෙහිදී කමිටුවට පෙන්වා දුන්නේය.  මේ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කමිටුව මෙහිදී සඳහන් කළේය.
 
මීට අමතරව 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව අනුමත කිරීමද මෙහිදී සිදු විය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු උදයකාන්ත ගුණතිලක, ගරු ගුණතිලක රාජපක්ෂ සහ ගරු කුමාරසිරි රත්නායක යන මහත්වරුන් සහභාගී වූහ.

 

1 10

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි