ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සීනි වංචාවට සම්බන්ධ සමාගම්වලින් අදාළ මුදල් අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දැඩි අප්‍රසාදය - වහාම ක්‍රියාමාර්ගයක් ගැනීමට කාරක සභාවෙන් උපදෙස්

දිනය : 2024-01-18

  • 2020 වසරේදී සීනි වංචාවෙන් අපේක්ෂිත අයකර ගැනීම් හා ප්‍රමාදයන් පිළිබඳවදව සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්න - කාරක සභාවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස්

 

පාර්ලිමේන්තු මන්ත්‍රී  ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ  කාරක සභාව පසුගියදා (ජන. 16) පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙහිදී  විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවේ දක්වා ඇති පරිදි, සීනි වංචාවට සම්බන්ධ ප්‍රධාන සමාගම්වලින්  නියමිත  බදු අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳව කාරක සභාවේ  දැඩි අප්‍රසාදය පළ විය.

2020 ඔක්තෝම්බර් 13 දිනැති 2197/12 ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 99.5% කින් අඩු කර තිබියදීත් අදාළ බලධාරීන් විසින් ක්‍රියාමාර්ග නොගෙනීම පිළිබඳවද කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණි. පාරිභෝගික භාණ්ඩ සඳහා බදු අඩු කිරීම හේතුවෙන්   ඇතැම් විශාල සමාගම්වලට අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබා ගැනීම වැලැක්වීමට වගවීමේ කිසිදු පියවරක් ක්‍රියාත්මක කර නොමැති බවද කාරක සභාව අවධාරණය  කළේය.

මෙම  සීනි වංචාවට අදාළ බදු අයකිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අරමුණු කරගනිමින්  එම  අදාළ සමාගම්වලින් බදු එකතු කිරීමේ ප්‍රමාණයන්  පිළිබඳව  සතියක් ඇතුළත  වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කාරක සභාව නියෝග කළේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කල කාරක සභාව  සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු: 0.25/Kg සිට රු: 50/Kg දක්වා ඉහළ නැංවීම අරමුණු කරගත් බදු ප්‍රතිපත්තිය නැවත සංශෝදනය කිරීම පිළිබඳව කමිටුව සිය අවධානය යොමු කළේය.
මෙරට පාරිභෝගික ජනතාවගෙන් රුපියල් බිලියන 30  ක් අය කරගත්  මේ හා සම්බන්ද සමාගම්වලට වගකීමෙන්  තොරව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම  පිළිබඳව මුදල් අමාත්‍යාංශය කාරක සභාවේ දැඩි විවේචනයට ලක්විය.

මේ අතර  බෙදාහරින්නන්  විසින් උපරිම සිල්ලර මිල පිළිනොපැදීම  පිළිබඳ  ගැටළු  විමසීම  සඳහා  කාරක සභාව හමුවට  පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ද කැඳවා තිබුණු . ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ  නිලධාරීන් විසින්   වැටලීම් 342  උපරිම සිල්ලර මිලට වඩා භාණ්ඩ අලෙවි කල ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට  දඩ නියම කළ ද, ගැසට් පත්‍රයේ උපරිම තොග මිලක් නොමැතිවීම හේතුවෙන් තොග බෙදාහරින්නන්ට දඬුවම් කිරීමේ අභියෝග පවතින බව  එම  නිලධාරීහු  කාරක සභාව හමුවේ  පැවසූහ .

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ ආනයනික මිල වැනි සාධක සලකා බලා උපරිම සිල්ලර මිලක්  පැනවීම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කරන ලෙස කාරක සභාව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට නියෝග කළේය. තවද, තොග බෙදාහරින්නන් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීම සහ වංචනික ක්‍රියාකාරකම්වල නිරත වීම සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳීමට යාන්ත්‍රණයක් යෝජනා කරන ලෙසත් කාරක සභාව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙතින් ඉල්ලා සිටියේය.

මීට අමතරව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නියෝගයේ  අන්තර්ගතය පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවිය. ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම සහ විදේශ විනිමය සංචිත ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ මූලික පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ සමාගම් සඳහා අරමුදල් සංචලනය සහ විදේශ විනිමය ගනුදෙනු නියාමනය කිරීම සඳහා නිර්මාණය කර ඇති විධිවිධාන මෙම නියෝගයෙන් දක්වා ඇත.

නියෝගයේ දක්වා ඇති පරිදි සංක්‍රමණ දීමනාව ඇමෙරිකානු ඩොලර්  50,000 ක් ලෙස පවතින අතර තාවකාලික වීසා බලපත්‍රලාභීන් සඳහා  ඇමෙරිකානු ඩොලර් 20,000  දීමනාවක් ඇත. ශ්‍රී ලාංකික පුද්ගලයින්ට ඔවුන්ගේම විදේශීය සමාගම්වල කොටස් විකල්ප මිලදී ගැනීමට ඉඩ සලසන විධිවිධාන ඇතුළුව, පෙර ගැසට් පත්‍රයේ සංශෝධන  මහ බැංකුවේ නිලධාරීන් විසින් කාරක සභාව දැනුම් දෙන ලදී. මීට අමතරව, ලැයිස්තුගත සමාගම්වල ආයෝජනය සඳහා  ඇමෙරිකානු ඩොලර් 200,000  සහ ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා  ඇමෙරිකානු ඩොලර් 100,000 ක  ආපසු ගැනීමට පුද්ගලයන්ට දැන් අවසර ඇත.

මෙහිදී කාරක සභා සභාපතිවරයා එවැනි අඩු සංක්‍රමණ දීමනාවක් පවත්වාගෙනයාමේ ශක්‍යතාව පිළිබඳව කනස්සල්ල පළ කළේය. මෙම සීමා කිරීම් හේතුවෙන් පුද්ගලයින් හවාලා සහ ක්‍රිප්ටෝ මුදල්  (cryptocurrency) වැනි නිල නොවන මාර්ගයන් වෙත යොමුවීමේ ව්‍යාප්තිය පිළිබඳව ඔහු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. තවද, Binance වැනි විවිධ වේදිකා හරහා ශ්‍රී ලාංකිකයන් තම රුපියල් USDT ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) බවට පරිවර්තනය කර පසුව විදේශයන්හි මුදල් මාරු කිරීම හෝ ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කරන අවස්ථා පිළිබඳව නිලධාරීන් දැනුවත් දැයි සභාපතිවරයා විමසා සිටියේය. විනිමය-වෙළඳාම කරන ලද අරමුදල්වල අනුමැතිය ඇතිව, එක්සත් ජනපද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින්  ක්‍රිප්ටෝ මුදල්  (cryptocurrency)  මෑතකදී  පිළිගත් ආයෝජන වත්කම් ලෙස අනුමතකර ඇති බව  කාරක සභාව පවසන ලදී.

මේ පිළිබඳ  දනුවත් වීමක් නොමැති බවක් ඒ  සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කරන බව  නිලධාරීහු සභාපතිවරයාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් පැවසුහ. එමෙන්ම විධිමත් මාධ්‍යන්ගෙන්  තොරව රුපියල්, ඩොලර්වලට හුවමාරු කිරීමට අවසර නොමැති බවත්, මුදල් හුවමාරුව සහ ආයෝජනය සඳහා නිල නොවන මාර්ග අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව විමර්ශනය කරන බවත් එම නිලධාරීහු  වැඩි දුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.

මේ අවස්ථව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී  ගරු චන්දිම වීරක්කොඩි, ගරු  දුමින්ද දිසානායක, ගරු මධුර විතානගේ ගරු සුමිත් උඩුකුඹුර යන මහත්වරුන් ඇතුළු  රාජ්‍ය  නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි