ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට

දිනය : 2024-01-18

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකස් කරන ලද ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කෙරෙහි ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස අවධානය යොමු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) ගරු තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගිය දා (ජන. 09) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡාවට කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, වෙරිටේ පර්යේෂණ ආයතනයේ නියෝජිතයන් සහ ආංශික අධීක්ෂණ කාරක සභාවට පත් කළ තරුණ නියෝජිතයෝ සහභාගි වූහ.

මුළු රටටම අදාළ වන පරිදි සකස් කර ඇති මෙම ජාතික ප්‍රතිපත්තිය මේ වන විට කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීහු මෙහිදී පැවසූහ.

එමෙන්ම, රට තුළ ක්‍රියාත්මක දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැති බවත් එම ලියාපදිංචි කිරීම් පළාත් සභා යටතේ සිදුවන බැවින් විවිධ පළාත්වල විවිධ ක්‍රමවේද අනුගමනය කරන බවත් කමිටුවේ නිරීක්ෂණයට ලක්විය. මේ අනුව ඕනෑම පළාතක වූවද දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බැවින්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි ‌ක්‍ෂේත්‍ර මෙන්ම සමස්ථ රටටම පොදු යාන්ත්‍රණයක් අවශ්‍ය බව මෙහිදී  කාරක සභාව පෙන්වා දුන්නේය.
 
ඒ අනුව පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය විය.

මේ අතර, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සබරගමුව පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය හරහා ලබා ගන්නා නිරීක්ෂණ සහ ප්‍රතිඵල විශ්ලේෂණය කර ඒ අනුව ඉදිරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වෙරිටේ පර්යේෂණ ආයතනයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. ඒ අනුව, මෙම නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයාගෙන් වාර්තාවක් ලබාගන්නා ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතීඥ) තලතා අතුකෝරල මහත්මිය උපදෙස් දුන්නාය.

එමෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභාවලට පත්කළ තරුණ නියෝජිතයින් ද මෙහිදී අදහස් ඉදිරිපත් කරන ලදී.

මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රෝහිණී කුමාරි විජේරත්න, ගරු මංජුලා දිසානායක, ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු ඩී. වීරසිංහ සහ ගරු වේලු කුමාර් යන මහත්ම මහත්මීන්  සහභාගී වූහ.

 

3 5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි