ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වී ගොවියා සහ පාරිභෝගිකයා සුරැකෙන පරිදි තීරණ ගැනීමට නිලධාරීන් සමත් විය යුතුයි - රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට අවධාරණය කරයි

දිනය : 2021-12-03

පසුගිය අප්‍රේල් මස පැනවූ ආනයන තහනම නිමා කරමින් , සහල් ආනයනයට  නැවතත් අවසර ලබාදෙන්නේ නම්, ඉදිරියට පැමිණෙන යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව නිසි පුරෝකථනයක් කිරීමෙන් අනතුරුව පමණක්  එය සිදු කළ යුතු බව පසුගියදා (01) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් විසින් නිර්දේශ කෙරිණ.

මෙහිදී, මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දුන්නේ, පවතින සුවිශේෂි තත්ත්වයන් යටතේ දේශීය වී ගොවියාට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම  මෙන්ම  පාරිභෝගිකයාට සාධාරණ මිලකට, ගුණාත්මක භාවයෙන් හෙබි සහල් පරිභෝජනයට අවස්ථාව සලසා දීම සඳහා මේ තත්ත්වය තාර්කිකව විශ්ලේෂණය කර, පුරෝකථන වලට එළඹිය යුතු බවය.

 එහිදී ආනයන අපනයන අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිතුරු දෙමින් සභාව හමුවේ අනාවරණය කර සිටියේ  දැනට ලැබී ඇති දත්ත අනුව, අපේක්ෂිත යල අස්වැන්න ගියවර මෙන් මෙවරද 2/3ක් පමණක් වීමට ඉඩ ඇති බවයි. එම අවස්ථාවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු මහතා කාරක සභාවට පෙන්වා දුන්නේ, මෙසේ  බලපත්‍ර රහිතව සහල් ආනයනයට  ඉඩදීම මඟින් ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා සහල් ආනයනයට  ව්‍යාපාරිකයන්  පෙළඹීම හේතුවෙන් දේශීය ගොවියා අසීරුතාවයන්ට මුහුණපෑම වැළැක්වීමට මුදල් අමාත්‍යංශය මැදිහත් විය යුතු බවයි. නිදර්ශනයක් වශයෙන් ඉන්දියාව හා සන්සන්දනය කර බැලීමේදී සෑම ආර්ථික මට්ටමකම පුරවැසියන්ට අඩු මිලට මිලදී ගත හැකි සහල්  වර්ගයක් දේශීය වෙළඳපොළේ  තිබීම  වැදගත් බවද හෙතෙම මුදල් අමාත්‍යංශ නිලධාරීන් හට පෙන්වා දුන්නේය.

මුදල් අමාත්‍යවරයාගේ නියමය පරිදි  කැකුළු,  නාඩු , සම්බා  ඇතුළු සහල් වර්ග ආනයනය සඳහා  අවසර ලබාදෙන  අතිවිශේෂ ගැසට් පත්‍රයක් සඳහා අනුමැතිය ලබාගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරුණු අතර, ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා  මහතා පවසා සිටියේ නිවැරදි සහ තාර්කික තක්සේරුවකින් තොරව මෙවන් නියෝග වලට එළඹීම මඟින් ඇතිවන සාර්ව බලපෑම සම්බන්ධව මීට වඩා නිලධාරීන්  විමර්ශනාත්මකව කටයුතු කිරීම අවශ්‍ය වන බවයි.

එසේම සහල් වෙළඳපොළ සම්බන්ධව පාරිභෝගික අයිතීන් පිළිබඳව කටයුතු කරන පාරිභෝගික කටයුතු අධිකාරිය මීට වඩා සක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව සහ දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් යෙදීමේ වැදගත්කම කාරක සභාවේදී  සාකච්ඡාවට ලක්විණි.

මීට අමතරව , පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විසර්ජන පනත් කෙටුම්පත රජයේ ප්‍රතිපත්තීන්ට කෙතරම් දුරට අනුකූල වන්නේද යන්න පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ඉදිරිපත් කරන වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කාරක සභාවෙහි අනුමැතිය පළවිණි.

මෙහිදී කාරක සභාව හමුවට පැමිණ සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමසා සිටියේ 2021 අයවැය පුරෝකථන සපුරාගැනීමට හැකිවූයේද යන්නයි. මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන හා දත්ත අනුව කාරක සභාවට නිරීක්ෂණය වන්නේ සියලුම ණය පියවා ගැනීමට දේශීය අරමුදල් පමණක් භාවිත කරන්නේ නම්, නුදුරු අනාගතයේදී පොලී අනුපාත ඉහළ යාමක් බවත් එය දේශීය පෞද්ගලික කර්මාන්ත කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බවද මෙහිදී ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා  මහතා  පෙන්වා දුන්නේය.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි