ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සංවර්ධන කටයුතු සඳහා දේපළ අත්පත් කර ගැනීමේදී නියම වටිනාකම ගෙවීම සඳහා අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදු කරනවා - අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදි පවසයි

දිනය : 2021-11-10

සංවර්ධන කටයුතු සඳහා දේපළ අත්පත් කර ගැනීමේදී නියම වටිනාකම ඉඩම් හිමිකරුවන්ට ගෙවීම සඳහා අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදු කෙරෙන බව ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

දේපළ අත්පත් කර ගැනීමේදී ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වන බවද අමාත්‍යවරයා ඊයේ (09) පැවැති එම කාරක සභා රැස්වීමේදී සඳහන් කළේය.

ගිංතොට තුනි ලෑලි සංස්ථාව පැවති භූමිය රජයට පවරා ගැනීම සඳහා කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කාරක සභාවේදී ඉල්ලීමක් කළේය.
සංචාරක ව්‍යාපාරයට ලබා ගත හැකි ඉඩම් සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත්, ඊට අදාළ අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රමවේදය වඩාත් පහසු කළ යුතු බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.

මන්නාරම අලකට්ටුකර ප්‍රදේශයේ අටසිය දෙනෙකුට ඉඩම් ඔප්පු ලබාදීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය.
ඉඩම් අහිමි ජනතාවට රජයේ ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙල කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මන්දගාමි ස්වභාවයක් ගත් බවත්, වර්තමානය වන විට එය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී කීවේය.

රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ වැඩපිළිවෙලක් වර්තමානය වන විට ක්‍රියාත්මක අතර, එය නැවැත්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයද කාරක සභාවේදී සාකච්ඡා විය.

මිනින්දෝරු සහයක තනතුරු සඳහා බඳවා ගැනීමේ විභාගය ලබන සතියේ පැවැත්වෙන බවද මෙම කාරක සභාවේදී අනාවරණය විය. එම තනතුරු සඳහා 1500 දෙනෙකු බඳවා ගැනීමට අපේක්ෂිතය.

මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බංඩාර, උදයන කිරිඳිගොඩ, එස්. නෝහරාතලිංගම්, චින්තක අමල් මායාදුන්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සුදත් මංජුල, අජිත් රාජපක්ෂ, ගුණතිලක රාජපක්ෂ, කේ.කාදර් මස්තාන්,වීරසුමන වීරසිංහ, සුදර්ශන දෙනිපිටිය යන මහත්වරුද සභභාගි වූහ. රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද මේ අවස්ථාවට සභභාගි වූහ.

 

1 2

3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි