ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාව

දිනය : 2021-10-05

සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය පළ විය. එසේම සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහිදී එකඟතාවය පළ විය.

මෙම එකඟතාව පළ වූයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

විශේෂයෙන් ඉන්දියාවෙහි සේවයේ නියුක්ත ශ්‍රී ලාංකිකයින් එරට නීතිමය ප්‍රතිපාදන අනුව අනිවාර්යයෙන්ම ඉන්දියානු සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්විය යුතුය. එසේ වුවත් ඔවුන් එරට සේවය නිමවා ආපසු පැමිණීමේදී සමාජ ආරක්ෂණ අරමුදලට දක්වන ලද දායක මුදල් ලබා ගැනීමට නම් වයස අවුරුදු 58ක් සම්පූර්ණ වන තෙක් සිටිය යුතුය.

එහෙත් ලංකාවේ සේවය කරන ඉන්දියානු සේවකයින්ට ඔවුන් නැවත තම මව් රටට යන විට  සමාජ ආරක්ෂණ අරමුදල යටතේ ඇති මුදල් ගැනීමේ හැකියාව පවතියි. ඒ සඳහා වයස් සීමාව අදාළ නොවේ. මේ අනුව ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින්ට වයස අවුරුදු 58 ඉක්මවීමට පෙර සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්වූ මුදල් ලබාගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකරමින් මෙසේ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත පාර්ලිමේන්තුවට එළඹෙන 07 වෙනි දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එසේම සේවක අර්ථසාධක අරමුදලට ලියාපදිංචි කිරීමේ කටයුතු නවීන තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීමට  සහ  සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාව ඔස්සේ (SMS) ලබා දීමට හැකිවන පරිදි සකස් කෙරෙන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් එදිනම (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට මෙසේ කාරක සභාවේ එකඟතාවය පළ විය .

තවද 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ ගැසට් කර ඇති උපද්‍රවකාරී රැකියා ලැයිස්තු නියෝග සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම පිළිබඳ කාරක සභාව දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.

මෙම කාරක සභාවට ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු සහභාගී වූහ.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි