ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මේ සතියේ පාර්ලිමේන්තුව (පෙබරවාරි මස දෙවැනි රැස්වීම් සතිය)

දිනය : 2015-02-25

mace

 

පෙබරවාරි 18

ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත විවාදයට බඳුන් කිරීමෙන් අනතුරුව සම්මත කරන ලදී. 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 49වන වගන්තිය සංශෝධනය කරන ලදී. මේ පනතේ 14අ සහ 14ඊ වගන්තිවල සඳහන් විධිවිධාන උල්ලංඝනය කිරීම ඇතුළු වරදක් සිදු කරන තැනැත්තෙකු මහේස්ත්‍රාත්වරයෙක් හමුවේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරුවකු වූයේ නම්, ඔහුට වසර 2කට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමට හෝ උපලේඛනයේ දක්වා ඇති පරිදි අදාළ ධීවර බෝට්ටුවේ දිග සැලකිල්ලට ගනිමින් දඩයක් නියම කිරීමට බලය ඇත. නිසි අවසරයක් නෙමැතිව, ශ්‍රී ලංකාවට අයත් සාගරයේ මසුන් මැරීම, නීති විරෝධී ආම්පන්න හා විධික්‍රම භාවිතා කිරීම, තහනම් කරන ලද මසුන් ඇල්ලීම, තහනම් කරන ලද කාලසීමාවක් තුළ මසුන් ඇල්ලීම සහ ලිඛිත අවසරයකින් තොරව, ධීවර බෝට්ටු විද්‍යාත්මක කටයුතු, පර්යේෂණ යනාදිය සඳහා යොදා ගැනීම වරදවල්ය.

 

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 11වන වගන්තියේ සහ 14වන වගන්තියේ කුමක් සඳහන් වුවද, එය නොසලකා, මේ පනතේ නිශ්චිතව සඳහන් වැරදි විභාග කිරීම සඳහා සහ දඩ මුදල් නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය ඇත.

 

පෙබරවාරි 19

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය ලබා දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත විවාද කොට සම්මත කරන ලදී. මේ පනතේ අරමුණු වන්නේ අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රවර්ධනය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමයි. අපරාධයක වින්දිතයෙකුට සමානව, සාධාරණව සහ ඔහුගේ ගරුත්වයට හා පෞද්ගලිකත්වයට ගරු කළ යුතුය. ඔහුට තර්ජනය කිරීම, බිය ගැන්වීම, පලි ගැනීම ඇතුළු හානි පැමිණවීම වරදවල්ය. අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික අධිකාරයක් පිහිටවනු ලැබේ. එසේම, පොලිස්පතිවරයා විසින් අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා ‘ආරක්ෂක කොට්ඨාසයක්’ පිහිටවනු ලැබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු එහි ප්‍රධානියා ලෙස පත් කරනු ලැබේ. අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂණ අරමුදලක් පිහිටවනු ලැබේ. වින්දිතයන්ට වන්දි ගෙවීම මෙම අරමුදලෙන් සිදු කරනු ලැබේ.

 

පෙබරවාරි 20

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට බඳුන් කොට සම්මත කරන ලදී. එය හදිසි පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන ලදී. 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතේ, 34වන වගන්තිය සංශෝධනය කරන ලදී. එ අනුව, සෞඛ්‍ය අවවාදයක් සහ තාර සහ නිකොටින් ප්‍රමාණය පිළිබඳ ලේබලයක් හෝ ප්‍රකාශනයකින් තොරව දුම්කොළ නිෂ්පාදන නිපදවීම, ආනයනය කිරීම, විකිණීම යනාදිය තහනම් වේ. සිගරට් සහ වෙනත් දුම්කොළ නිෂ්පාදනවල පැකට්ටුවේ, ඇසුරුමේ හෝ කාඩ්බෝඩ් පෙට්ටියේ මතුපිට පෘෂ්ඨයේ 80%ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි සෞඛ්‍ය අවවාදය පැහැදිලිව මුද්‍රණය කොට ප්‍රදර්ශනය කළ යුතුය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි