ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව සංශෝධිත ස්ථාවර නි‍යෝග සහ මන්ත‍්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග‍්‍රහයක් සම්මත කරයි

දිනය : 2018-03-07

maceශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද දින සිය ප්‍රතිශෝධිත ස්ථාවර නි‍යෝග සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග‍්‍රහයක් අනුමත කළේය. ඒ අනුව, 2017 නොවැම්බර් මස 07 වැනි දින සහ අද දින ඉදිරිපත් කරන ලද ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ වාර්තා සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී. ප්‍රතිශෝධිත ස්ථාවර නියෝගවල සහ චර්යා ධර්ම සංග්‍රහයේ අවසාන කෙටුම්පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරීක්ෂාව පිණිස පසුගිය වසරේදී සභාවට පිළිගන්වන ලදී.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අවසන් වරට සංශෝධනය කෙරුණේ මීට වසර 25 කට පමණ පෙර 1993 පෙබරවාරි මස 26 වැනිදායි. එහිදී, තවත් සංශෝධන අතර උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අදාළ විධිවිධාන ආදිය ද ඇතුළත් කරන ලදී. ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සහ චර්යා ධර්ම සංග්‍රහයක් කෙටුම්පත් කිරීම 2015 දෙසැම්බර් මාසයේ ආරම්භ වී දෙවසරක පමණ කාලයක් පුරා පැවති ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මෙම කාලවකවානුව තුළදී ගරු කථානායකතුමාගේ සභාපතිත්වයෙන් යුත් ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව දොළොස් වතාවක් රැස් වූ අතර, එහිදී හයවන හා හත්වන පාර්ලිමේන්තුවල දී මීට පෙර පත් කරන ලද කාරක සභාවල නිර්දේශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්, දේශීය හා විදේශීය විද්වතුන් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් ලද ආදානයන් ද සාකච්ඡාවට බඳුන් කළේය. මීට අමතරව, විශේෂ කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා සිව් සාමාජික විශේෂ කාරක සභාවක් ද පත් කරන ලදී.

 

අද පවතින කාලීන ව්‍යවස්ථාදායක අවශ්‍යතාවයන්ට අනුකූල වීමට සහ පාර්ලිමේන්තු සභාවේ හා කාරක සභාවල කටයුතු සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් කලක සිට පැවතුණි. ස්ථාවර නියෝගවල නව සංශෝධන කිහිපයක් පහත දැක්වේ:-

  • පාර්ලිමේන්තු සභාවේ සහ කාරක සභාවල කටයුතු විද්‍යුත් මාර්ග භාවිතයෙන් සජීවී ලෙස විකාශය කිරීමට ප්‍රතිපාදන
  • විද්‍යුත් ඡන්ද ක්‍රමය සඳහා ප්‍රතිපාදන
  • පාර්ලිමේන්තුවේ රැස්වීම් වේලාවන්
  • සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
  • අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න
  • ආංශික අධීක්ෂණ කාරක සභා, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව ආදිය ඇතුළත් කිරීම

 

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග‍්‍රහයේ අරමුණ වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්, ඔවුන්ගේ ඡන්දදායකයන් සම්බන්ධයෙන් සහ පොදුවේ මහජනයා සම්බන්ධයෙන් සිය වගකීම් ඉටු කරනු පිණිස සිය බලතල කි‍්‍රයාත්මක කිරීම, කාර්ය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා ඔවුනට සහාය වීමයි. සෑම මන්ත්‍රීවරයෙකුම චර්යා ධර්ම සංග්‍රහය පිළිපැදිය යුතු අතර, මන්ත්‍රීවරයෙකු විසින් කරන ලදැයි කියනු ලබන සදාචාර විරෝධී හැසිරීමක් හෝ චර්යා ධර්ම සංග්‍රහයේ විධිවිධානයක් කඩකිරීමක් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමුකිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව විමර්ශනය කර දඬුවමක් නිර්දේශ කළ හැකිය.

 

ප්‍රතිශෝධිත ස්ථාවර නි‍යෝග සහ චර්යා ධර්ම සංග්‍රහය, කථානායකතුමා විසින් නිවේදනය කරන ලද දිනයෙහි සිට ක්‍රියාත්මක වනු ඇත.

 

 

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ වාර්තාව (2017-11-07 දින ඉදිරිපත් කරන ලද)
ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ වාර්තාව (2018-03-07 දින ඉදිරිපත් කරන ලද)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල අවසාන කෙටුම්පත (2017-06-07 දින ඉදිරිපත් කරන ලද)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ අවසාන කෙටුම්පත (2017-08-09 දින ඉදිරිපත් කරන ලද)

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි