ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදය සඳහා අමතර කාලය වෙන්කිරීමට කථානායකතුමා තීරණය කරයි |
දිනය : | 2017-11-02 |
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා ඒ ඒ පක්ෂවල අදහස්ද ඇතුළත්ව ඉදිරිපත්ව ඇති මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස රැස්වීමට කලින් යොදාගත් පරිදි ඔක්තෝබර් 30,31 සහ නොවැම්බර් 01 වැනිදා යන දින තුන යොදා ගෙන තිබුණ ද, ඒ පිළිබඳව අදහස් දැක්වීමට සෑම පාර්ශ්වයකින්ම ලැබී ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් ඒ සඳහා වූ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට කථානායකවරයා තීරණය කර ඇත. ඒ අනුව අද දිනය සහ එළඹෙන සතියේ අයවැය විවාදය ආරම්භ වීමට පෙර දිනයක් වූ නොවැම්බර් 8 වැනි දින ඒ සඳහා වෙන්කර ඇත.
මෙම විවාදයේ දී අදහස් පළ කිරීමට සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් තුළ දැඩි උනන්දුවක් පවතින අතර, ගෙවී ගිය දින දෙක තුළ මන්ත්‍රීවරු ගණනාවක්ම අදහස් දැක්වීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් වෙන් කරන ලෙස කථානායකවරයා අමතමින් ඉල්ලා සිටියහ.
සෑම මන්ත්‍රීවරයෙක් තුළම ඇති මෙම උනන්දුව අගය කළ කථානායකවරයා රට වෙනුවෙන් ඉතා තීරණාත්මක කරුණක් සාකච්ඡාවට ගැනෙන අවස්ථාවක සක්රීයවම ඊට මැදහත් වී පක්ෂව හෝ විපක්ෂව අදහස් දැක්වීම මහජන නියෝජිතයන් ලෙස සිය වගකීම ඉටු කිරීමක් බව පෙන්වා දුන් අතර, සියළු දෙනාටම පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමට ඇති අයිතිය තහවුරු කරමින් අවශ්‍ය කාලය ලබා දෙන බවට සහතික විය.