ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ 70 වැනි සංවත්සරය සැමරීම

දිනය : 2017-10-03

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ 70 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද දින (ඔක්තෝබර් 03) ප.ව. 2.30 ට පැවැත්වුණි. ප්‍රධාන කටයුතු ආරම්භයේ දී ගරු අග්‍රාමාත්‍යතුමා සහ ගරු පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා විසින් පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කරන ලදී;

 

“අද දින පවත්වනු ලබන පාර්ලිමේන්තු රැස්වීමේ දී මෙම පාර්ලිමේන්තුව ස්වාධීන පාර්ලිමේන්තුවක් වශයෙන් ප්‍රථමයෙන් රැස්වී 70 වසරක් සපිරීමේ සංවත්සරය සාඩම්බරයෙන් යුතුව සමරන අතර, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයෙහි නොබිඳුණු වාර්තාවක් සමඟින් ආසියානු කලාපයේ තිබෙන වැඩිහිටි සර්වජන ඡන්දයෙන් තේරී පත්වන පැරණිතම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බව සඳහන් කරමින්, ඉදිරි කාලය මෙම පාර්ලිමේන්තුවටත්, ශ්‍රී ලාංකීය ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්, ප්‍රතිපත්තීන් සහ නීතියේ ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කරමින්, සමෘද්ධිය සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කරයි.”

 

අතිගරු ජනාධිපතිතුමාගේ කථාවෙන් පසුව පිළිවෙළින් ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු විපක්ෂ නායකතුමා, ගරු සභානායකතුමා, ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා, ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකවරුන් විසින් කථා පවත්වන ලදී. ඉන් අනතුරුව ගරු කථානායකතුමා විසින් ස්තුති කථාව පවත්වන ලදී.

 

දකුණු ආසියානු සහයෝගිතා සංවිධානයට (සාර්ක්) අයත් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අටවැනි සමුළුව සඳහා මෙරටට පැමිණ සිටින එම රටවල පාර්ලිමේන්තුවල ගරු කථානායකවරු ද කථානායකවරයා‌ගේ ගැලරියේ සිට මෙම අවස්ථාව නැරඹූහ.

 

“නි‌‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය” යනුවෙන් හැඳින්වුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව 1947 ඔක්තෝබර් මස 14 වැනිදා කොළඹ, රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ (පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල) දී රැස්විය. සර්වජන ඡන්දයෙන් තේරී පත්වූ සභිකයින් 95 දෙනෙකුගෙන් සහ අග්‍රාණ්ඩුකාරවරයා විසින් නම් කරන ලද සභිකයින් 6 දෙනෙකු ඇතුළු මුළු මන්ත්‍රීවරුන් 101 දෙනෙකුගෙන් එය සමන්විත විය.

 

1947 අගෝස්තු 23 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා දින 19 ක කාලයක් පුරා මහ මැතිවරණය පැවැත්විණි. එහිදී ආසන 42 ක් දිනාගනිමින් බහුතරය ලබාගත් එක්සත් ජාතික පක්ෂය විසින් මහාමාන්‍ය ඩී. එස්. ‌සේනානායක මහතා මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරාගන්නා ලදී. ලංකා සම සමාජ පක්ෂය, බෝල්ෂෙවික් ලෙනින්ස්ට් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, කම්කරු පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සහ ලංකා ඉන්දියානු කොංග්‍රසය මහ මැතිවරණයේ දී ආසන දිනාගත් අනෙකුත් දේශපාලන පක්ෂ වූහ. ස්වාධීන අපේක්ෂකයින් විසිදෙනෙක් ද තේරී පත්වූහ. බලංගොඩ පළමු මන්ත්‍රී, ගරු ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ‌මොලමුරේ මහතා කථානායකවරයා වශයෙන් තේරී පත්විය. ආර්. ‌සෙන්ට් එල්. පී. දැරණියගල මහතා (සී.බී.ඊ.) නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩල‌යේ ලේකම්වරයා විය.

 

සෙ‌‌නේට් සභාව සහ නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් සභා ‌දෙකකින් සමන්විත වූ ශ්‍රී ලංකාවේ (එවකට ලංකාව) ප්‍රථම පාර්ලිමේන්තුව ද්වි-මණ්ඩල එකක් විය. එය පිහිටුවනු ලද්දේ සෝල්බරි කොමිසම විසින් ගෙන එන ලද යෝජනා අනුව සහ ලංකාවේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) රාජාඥාවක් මගිනි. 1931 දී පිහිටුවන ලද ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව මෙමගින් ප්‍රතිස්ථාපනය විය. සෙනෙට් සභාව 1971 දී අහෝසි කරන ලද අතර, 1972 දී ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවට ඒක-මණ්ඩල ජාතික රාජ්‍ය සභාව පිහිටුවන ලදී. 1978 සැප්තැම්බර් මස 7 වැනිදා දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමත් සමගම දෙවැනි ජාතික රාජ්‍ය සභාව ‌වෙනුවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ පළමුවන පාර්ලි‌මේන්තුව පිහිටුවනු ලැබිණ.

 

වත්මන් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි පාර්ලිමේන්තුව වන අතර, සමස්තයක් ලෙස ගත් කළ දාහත්වැන්න වේ. 1947 සිට මන්ත්‍රීන් 14 දෙනෙකු අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති අතර, 18 දෙනෙකු පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන් තේරී පත්වී ඇත. මේ දක්වා පාර්ලි‌මේන්තු‌වේ මහ‌ලේකම් ධුරයේ (මීට පෙර සභා‌වේ ලේකම් යනුවෙන් හැඳින්වූ) හත්දෙනෙකු කටයුතු කර තිබේ.

 

දවසේ කටයුතු නරඹන්න

 

 

1947 ඔක්තෝබර් මස 14 වැනිදා පළමු රැස්වීම

1 2

 

 

 

3 4

5 6        7

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි