ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“සාක්” සංවිධානයට අයත් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අටවැනි සමුළුව සඳහා සත්කාරක රට වශයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරයි

දිනය : 2017-09-25

banner

“සාක්” සංවිධානයට අයත් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අටවැනි සමුළුව 2017 ඔක්තෝබර් 04 සිට 06 දක්වා ශ්‍රී ලංකාවේ කොළඹ හිල්ටන් හෝට‍‍ලයේ දී පැවැත්වේ.

 

“සාක්” සංවිධානයට අයත් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානය දකුණු ආසියාවේ ජනතාව අතර මිත්‍රත්වය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමටත්, “සාක්” සංවිධානයට අයත් රටවල පාර්ලිමේන්තු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කිරීමටත් කළාපයේ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය සහ ක්‍රියාදාමය පිළිබඳ අදහස් සහ තොරතුරු හුවමාරු කරගැනීමේ වේදිකාවක් සැපයීමත් අරමුණු කරගෙන 1992 වසරේදී පිහිටුවන ලදී.

 

“සාක්” සංවිධානයට අයත් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංග‍මයේ පළමුවැනි සමුළුව 1995 වසරේදී ඉන්දියාවේ පැවැත්වූ අතර එහි දෙවනි සමුළුව 1997 වසරේදී පාකිස්ථානයේ දී ද තුන්වැනි සමුළුව 1999 බංග්ලාදේශයේදී ද, හතරවැනි සමුළුව 2006 දී ශ්‍රී ලංකාවේදී ද පස්වැනි සමුළුව 2011 ඉන්දියාවේදී ද, හයවැනි සමුළුව පාකිස්ථානයේ 2012 වසරේදී ද අවසන් සමුළුව 2013 මාලදිවයිනේද පවත්වන ලදී.

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන අටවැනි සමුළුව කලාපීය සහයෝගිතාව පිළිබඳ දකුණු ආසියානු සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල කථානායකවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකට එක් කරනු ඇත.

 

උත්සවයේ සමාරම්භය ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුවන අතර අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2017 ඔක්තෝබර් 04 දින සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත. පාර්ලි‍මේන්තුවේ කථානායක, පා.ම. කරු ජයසූරිය මහතා සමාරම්භක උත්සවයේ ආරම්භක දේශනය කරමින් මේ අවස්ථාව ශෝභාමත් කරනු ඇත.

 

මෙම වසරේ සමුළුවේ අපේක්ෂාව වන්නේ තිරසාර සංවර්ධන අරමුණු කෙරෙහි විශේෂ අවධානයක් දැක්වීම වන අතර ‘සාක් සංවිධානයට අයත් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානය: තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයට ළඟාවීම සඳහා එක්ව වැඩ කිරීමට දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා වේදිකාවක්’ යන්න එහි ප්‍රධාන තේමාව වනු ඇත. “පාර්ලිමේන්තු රාජ්‍යයෝපායන් සහ විවෘත පාර්ලිමේන්තු ඩිජිටල් යුගය තුළ ප්‍රවර්ධනය කිරීම” සහ “දකුණු ආසියානු කලාපයේ සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කිරීමේදී සාක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව” සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටත් මෙම වසරේ සමුළුව බලාපොරොත්තු වේ.

 

කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කමිටුවේ රැස්වීම “දරිද්‍රතාවෙන් මිදීම සඳහා කාන්තාවන් හට ක්‍රමවේදයක් සොයා ගැනීමට සහය වීම සහ තමන්ගේ ප්‍රජාවන්ට වඩා ‍යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා සහාය දීම” යන මාතෘකාව මත කේන්ද්‍රගතවනු ඇත.

 

මෙම වසරේ සමුළුව පළමු වරට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කමිටුවේ පළමු රැස්වීම පවත්වන අතර එහිදී “ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා තරුණයන් අතර ප්‍රචණ්ඩ අන්තවාදය ට එරෙහිව ක්‍රියා කිරීම සහ මිනිස් ජාවාරම ට, නූතන වහල්භාවය සහ නීති විරෝධී මත්කුඩු ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා තරුණයන් සවිබල ගැන්වීම” පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

 

මෙම සමුළුවට සහභාගිවන්නන් සඳහා ඔක්තෝබර් 06 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මහනුවර (දළදා මාලිගාව සහ පින්නවල අලි අනාථාගාරය) වෙත විනෝද චාරිකාවක් සූදානම් කොට ති‍බේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි