ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

චීන නියෝජිත පිරිසගේ සංචාරය

දිනය : 2017-04-18

චීන ජනතා දේශපාලන උපදේශක සමුළුවේ (CPCC) ජාතික කමිටුවේ සභාපති අතිගරු යූ ජෙන්ෂෙං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නි‍යෝජිත පිරිසක් 2017 අප්‍රේල් මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඔවුන් පැමිණියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා‍ විසින් කරන ලද ආරාධනයකට අනුවය.

 

අතිගරු යූ ජෙන්ෂෙං මහතා 2017 අප්‍රේල් මස 7 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණි අතර ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ නායකයින් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.

 

නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ගරු මලික් සමරවික්‍රම, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය සහ ඉඩම් අමාත්‍ය ගරු ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක, මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක, ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර, ගරු ඩග්ලස් දේවානන්ද, ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ඩබ්ලිව්.බී.ඩී. දසනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නි‌යෝජ්‍ය මහ‌ලේකම් නීල් ඉද්දවල, විදේශ කටයුතු ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද්විපාර්ශ්වික සාකච්ඡාවට සහභාගී වූ අතර, CPCC ජාතික කමිටුවේ උපසභාපතිනිය හා තායිවාන ප්‍රජාතාන්ත්‍රික ස්වරාජ්‍යය ලීගයේ මධ්‍යම කාරක සභාවේ සභාපතිනි ගරු ලී වෙන්යි මිය, CPCC ජාතික කමිටුවේ උපසභාපති හා මහ ලේකම් ගරු ෂං සිංග්ලි මහතා, CPCC ජාතික කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික හා යෝජනා පාලනය සඳහා වන කමිටුවේ සභාපති ගරු හයි යංග් මහතා, ස්ථාවර කමිටු සාමාජික හා අධ්‍යයනය සහ සංස්කෘතික හා ඓතිහාසික දත්ත පිළිබඳ කමිටුවේ සභාපති ගරු වොං හයිහුවා මහතා, චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ උප ඇමති ගරු ලියු ජෙන්මින් මහතා සහ චීන තානාපති අතිගරු යී ෂියැන්ලියාන් මහතා චීන පාර්ශ්වය නියෝජනය කළහ.

 

ශ්‍රී ලංකා සහ චීන නියෝජිතයින් දෙපිරිසම දෙරට අතර ඓතිහාසික සම්බන්ධතා අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කරගත් අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමේ ඉදිරි උපායමාර්ග ද සාකච්ඡා කළහ.

 

චීන ජනතා දේශපාලන උපදේශක සමුළුවේ (CPCC) ජාතික කමිටුව විසින් පාර්ලිමේන්තුවේ පරිහරණය සඳහා ලැප්ටොප් පරිගණක සහ ප්‍රක්ෂේපන යන්ත්‍ර පරිත්‍යාග කරන ලද අතර, පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වන මන්ත්‍රීවරුන්ට තොරතුරු ලබාගැනීම සඳහා මෙම ලැප්ටොප් පරිගණක සභා ගර්භයේ සවි කෙරෙනු ඇත.

 

 

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි