ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම

වාරාවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබා ගැනීමයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) අනුව ඒ සඳහා ජනාධිපතිවරයාට බලය පැවරේ. වාරාවසාන කිරීම මාස දෙකකට නොවැඩි විය යුතුය. එය සිදු කළ යුත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මගිනි. කෙසේවුවද ,පාර්ලිමේන්තුව නැවත කැඳවීම නියමිත දිනට පෙර වුවද , සිදු කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඒ සඳහා තවත් ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබිය යුතුය. පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ දී නැවත පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය එම ප්‍රකාශයේ සඳහන් විය යුතුය.

 

වාරාවසාන කර ඇති අවස්ථාවල කථානායකවරයා එම ධූරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යා යුතුය. වාරාවසාන කිරීමක් තුළින් කිරීමට ඇති කටයුතු අවසන් නොවේ. ඒ අනුව, නව වාරයේ සිට කිරීමට ඇති කටයුතු පවතින අදියරේ සිට ඉදිරියට ගෙන යාමට පුළුවන.

 

නව සැසි වාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභා නැවත පත් කළ යුතුය. එහෙත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව වාරවසාන කර ඇති අවස්ථාවක වුව ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ. අනෙක් කාරක සභාවල තත්ත්වය පිළිබඳව නිශ්චිත සදහනක් නොමැති බැවින්, ඒවා ක්‍රියාත්මකවීම නතර වේ. සම්ප්‍රදායනුකූලව සෑම නව සැසිවාරයක් ආරම්භයේ දී ඒවා නැවත පත් කරනු ලැබේ.

 

වාරාවසාන කිරීම අවසන් වී නව සැසිවාරයක් ආරම්භ වන විට , එය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(4) අනුව; “යථා පරිදි පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු ලැබ නොමැති යම් කාරණා ඇත්තේ ද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළග සභාවාරයේදී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.”

 

පාර්ලිමේන්තු වාර්තා අනුව හෙළි වනුයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හතළිස් වරක් පමණ වාරාවසාන කර ඇති බවයි. වාරාවසාන කර තිබු කාල සීමාව තුළ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා විසින් 1958 මැයි 27 දින පාර්ලිමේන්තුව කැඳවන ලදි. ඒ ජනවාර්ගික කෝලහාල පැන නැගුණු බැවින් හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත් කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම සඳහාය. ඒ අනුව 1958 ජූනි 04 වන දින පාර්ලිමේන්තුව රැස් විය. එය සුවිශේෂි අවස්ථාවකි.

 

 

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය

නව සැසි වාරයක් ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අතීතයේ එය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමිනි. එය ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසිනි.

 

1960 අප්‍රේල් 22 දින ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුව පරාජය වීඇත. අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා විසින් 1960 අප්‍රේල් 06 වන දින රාජාසන කථාව ඉදිරිපත් කරන ලදි. එයට ස්තූතිය පළ කිරීමේ යෝජනාවට විපක්ෂය විසින් ගෙන එන ලද සංශෝධනයට පක්ෂව ඡන්ද 86 ක් ද විරුද්ධව ඡන්ද 61 ක් ද ලැබුණු අතර මන්ත්‍රීවරුන් 08 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නැවත වරක් ස්තුති යෝජනාව සංශෝධනය කරමින් ගෙන එන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 93 ක් ද විපක්ෂව 61 ක් ද ලැබුණු අතර එක් මංත්‍රිවරයෙක් ඡන්දය දීමෙන් වැළකි සිටියේය.

 

කෙසේවුවද වර්තමානයේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට බඳුන් වීමක් හෝ ඡන්දය විමසීමක් සිදු නොවේ.

 

 

ඓතිහාසික පසුබිම

 

බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේ සම්ප්‍රදායන්

ප්‍රකට බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා න්‍යාය විශාරදයකු වන අර්ස්කින් මේ සිය ‘Parliamentary Practice’ නම් කෘතියේ මෙසේ සඳහන් කරයි. “පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ පරම බලය ඇත්තේ කිරීටයටයි. පාර්ලිමේන්තුවට සිය කටයුතු කර ගෙන යා හැක්කේ ද ඒවා අත්හිටුවිය යුත්තේ ද රැජිණගේ කැමැත්ත පරිදිය.” එහෙත් සභා දෙකටම සිය කටයුතු ස්වාධීනව කල්තැබීමේ බලය ඇත. ඒ සඳහා කිරීටයේ හෝ අනෙක් සභාවේ බලපෑමක් නැත.”

 

අර්ස්කින් මේ 24 වන සංස්කරණයේ මෙසේ වැඩිදුරටත් සඳහන් වේ. “වාරාවසාන කිරීමේ බලපෑම වන්නේ නැවත පාර්ලිමේන්තුව කැඳවනු ලබන තෙක් එහි සියළු කටයුතු අත්හිටුවීමයි. මෑතක් වන තෙක් දෝෂාභියෝග හෝ සියලු කටයුතු අත්හිටුවන ලදි. එහෙත් පාර්ලිමේන්තුව නවීකරණය කිරීම පිළිබඳ තේරීම් කාරක සභාවේ නිර්දේශයක් අනුව රජයේ පනත් කෙටුම්පත් එක් සැසිවාරයක සිට තවත් සැසිවාරයකට ගෙන යාමට හැකිවන පරිදි ස්ථාවර නියෝගයක් මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ගන්නා ලදි. එහෙත් ඒ යම් යම් සීමාවන් තුළය. යම් අවස්ථානුකූලව, එසේ කිරීමට සාමි මන්ත්‍රී මණ්ඩලය ද එකඟ විය.

 

පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම උභය මන්ත්‍රී මණ්ඩලයට ප්‍රකාශයක් මගින් දැනුම් දෙනු ලැබේ.

 

 

රැජිණගේ කථාව (එක්සත් රාජධානිය)

සැසිවාරයේ මුල්ම දිනයේ රැජිණගේ කථාව කියවනු ලැබේ. එය අවසාන වූ පසු මන්ත්‍රී මණ්ඩල දෙක විසින්ම ස්තූති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් විසින් එම ස්තූති යෝජනාව ඉදිරිපත් කිරීම සහ ස්ථීර කිරීම කරනු ලැබේ. ප්‍රධාන විරුද්ධ පක්ෂයේ මුල් පෙළ මන්ත්‍රීවරුන් විසින් එයට සංශෝධන ද එකතු කිරීම සාමාන්‍යයෙන් සිදුවේ. විවාදයේ දී විදේශ කටයුතු, ස්වදේශ කටයුතු, ආරක්ෂක, සමාජ කටයුතු යනාදී මාතෘකාවන් සාකච්ඡාවට බඳුන් වේ. ඉන්පසු එම ස්තූති යෝජනාව රැජිණට ඉදිරිපත් කරනු ලැබේ. රැජිණගේ පිළිතුර රජ පවුලේ සාමාජිකයෙක් විසින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දැනුම් දෙනු ලැබේ. සාමි මන්ත්‍රී මණ්ඩලයට එය දැනුම් දෙන්නේ රජ මාළිගයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විසිනි.

 

 

ඉන්දියානු පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්

එම්.එන්. කවුල් සහ එස්. එග්. ෂඩ්හාර්ගේ “Practice and Procedure of Parliament” (සංස්කරණය පී.ඩී.ටී. ආචාරි) සඳහන් කරන පරිදි ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85(2) යටතේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සිදු කරනු ලබයි. එසේ කිරීමේ දී ජනාධිපතිවරයා ක්‍රියා කරනුයේ අගමැතිවරයාගේ උපදෙස් මතයි. ජනාධිපතිවරයාට එසේ උපදෙස් දීමට පෙර අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ අදහස් විමසයි. වාරාවසාන කිරීම ඕනෑම දිනෙක කළ හැක. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමතිවරයා විසින් අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබේ.

 

කථානායකවරයාගේ එකඟත්වය ලද පසු පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් අගමැතිවරයාගේ වාරාවසාන කිරීම පිළිබඳ යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබේ. ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එය ප්‍රකාශයට පත් කරනු ලැබේ. ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් එය ප්‍රකාශයට පත් කරනු ලැබේ. ලොක් සභා මන්ත්‍රිවරුන්ට බුලටීනයක් මගින් එය දැනුම් දෙනු ලැබේ. එයට අමතරව පුවත්පත් නිවේදනයක් නිකුත් කරනු ලැබේ. සමස්ත ඉන්දීය ගුවන්විදුලිය හා දූර්දර්ශන් ලොක් සභා රූපවාහිනී නාලිකාව ඔස්සේ ද එය දැනුම් දෙනු ලැබේ.

 

ඉන්දියාවේ වාරාවසාන කිරීමක් තුලින් සිදු වනුයේ සැසි වාරයක් නිම වීම පමණි. ලොක් සභාවේ කටයුතුවලට එමගින් බාධා නොපැමිණේ. එම කටයුතු නිම වනුයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හොත් පමණි.

 

ඉන්දියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107(3) අනුව පාර්ලිමේන්තුව හමුවේ ඇති පනත් කෙටුම්පත් වාරාවසාන වීමකදී ආරක්ෂා වේ. එසේම තේරීම් කාරක සභා සහ ඒකාබද්ධ කමිටු හමුවේ ඇති පනත් කෙටුම් පත් ද ආරක්ෂා වේ. යෝජනා සංශෝධන යනාදිය ද වාරාවසාන කිරීමකදී අහෝසි නොවන අතර, ඊළග සැසිවාරය දක්වා රැගෙන යනු ලැබේ.

 

 

ජනාධිපතිවරයාගේ කථාව (ඉන්දියාව)

රජය විසින් සකස් කරනු ලබන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් නව සැසිවාරය ආරම්භයේදී කියවනු ලැබේ. එබැවින් එහි වගකීම ආණ්ඩුවට පැවරේ. එය සිදු කරනු ලබන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 86(1) යටතේය.

 

ජනාධිපතිවරයාගේ කථාව පිළිබඳ විවාදයට දින නිම කිරීම, සභානායකවරයාගේ අදහස් විමසීමෙන් පසු කථානායකවරයා විසින් සිදු කරනු ලැබේ. අගමැතිවරයා විසින් තෝරා ගනු ලබන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් ස්තුති යෝජනාව ඉදිරිපත් කිරීම සහ ස්ථිර කිරීම සිදු කරනු ලැබේ. මෙම විවාදය ඉතා පුළුල් වපසරියකින් යුක්තය. ස්තුති යෝජනාවට ගෙන එනු ලබන සංශෝධනවල විවධ කරුණු අඩංගු වේ. විවාදය අවසානයේ අගමැතිවරයා විසින් පිළිතුරු කථාව පවත්වනු ලැබේ. ඉන් පසු සංශෝධන ඇතුළත් කොට ස්තුති යෝජනාව සම්මත කරනු ලැබේ. එය කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබේ. එය පිළිගත් බව සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට ලිඛිතව දැනුම් දෙනු ලැබේ. එය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී කියවනු ලැබේ.

 

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 114 යටතේ තේරීම් කාරක සභාවක් පත් කෙරේ. ඒ අනුව විශේෂ කාර්යයන් සඳහා පත් කරනු ලබන පහත සඳහන් කාරක සභා වාරාවසාන කිරිමත් සමග අක්‍රීය වෙයි. නව සැසි වාරයක් ආරම්භ කිරිමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, සහ අධීක්ෂණ කාරක සභා සහ පාර්ලාමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත් කළ යුතු වෙයි.

 

  • පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
  • ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව
  • ගෘහ්‍ය කාරක සභාව
  • ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාව
  • ව්‍යවස්ථාදායක කාරක සභාව
  • අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව
  • රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
  • රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව
  • මහජන පෙත්සම් කාරක සභාව
  • පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව

 

 

සභාපති මණ්ඩලය

පාර්ලිමේතුවේ සෑම නව සැසි වාරයක් ආරම්භයේ දීම හතර දෙනෙකුට නොඅඩු සාමාජික සංඛ්‍යාවකින් සමන්විත තාවකාලික සභාපති කමිටුවක් පත් කෙරේ.

 

 

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සැසිවාරයන් ආරම්භ වීම

පාර්ලිමේන්තු වාර්තා අනුව අනාවරණය වනුයේ පාර්ලිමේන්තුව 1947 සිට 50වරක් පමණ වාරාවසාන කර ඇති බවයි. 1978 සිට සැසිවාර 25ක් පවත්වනු ලැබ තිබේ. එනම්,

  • පළවන පාර්ලිමේන්තුවේ 1978 /09 /07දින සිට 1988/12/20 දක්වා සැසිවාර 07ක් පැවැත්විණි.
  • දෙවන පාර්ලිමේන්තුවේ 1989/03/09 සිට 1994/06/24 දක්වා සැසිවාර පහක් පැවැත්විණි.
  • තුන්වන පාර්ලිමේන්තුවේ 1994/08/25 සිට 2000/08/18 දකවා සැසිවාර 03ක් පැවැත්විණි.
  • හතරවන පාර්ලිමේන්තුවේ 2000/10/18 දින සිට 2001/10/10 දකවා සැසිවාර 03ක් පැවැත්විණි.
  • පස්වන පාර්ලිමේන්තුවේ 2001/12/19 සිට 2004/02/09 දක්වා සැසිවාර දෙකක් පැවැත්විණි.
  • හයවන පාර්ලිමේන්තුවේ 2004/04/22 සිට 2010/02/09 දක්වා සැසිවාර 04ක් පැවැත්විණි.
    (හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කර ගැනීම සදහා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව 2010/03/09 සහ 2010/04/06 දින නැවත කැඳවන ලදී.)
  • හත්වන පාර්ලිමේන්තුව 2010/04/22 සිට 2015/06/26 දක්වා සැසිවාර එකක් පැවැත්විණි.
  • අටවැනි පාර්ලිමේන්තුව 2015/09/01 සිට 2018/04/12 දක්වා එක් සැසිවාරයක් පැවැත්වුණු අතර 2018/05/08 වන දින දෙවන සැසිවාරය ඇරඹෙනු ඇත.

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2018-05-04

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි