ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 ජූලි මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-07-07

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   2016 අංක 24 දරන විසර්ජන පනතේ 6 (1) වගන්තිය යටතේ 2017.05.01  සිට 2017.05.31  දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

(ii)   2013 සහ 2014 වර්ෂ සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
අම්පාර නාගරික බස් නැවතුම්පළ ඉදිකිරීමේ දී යම් පුද්ගලයින්ට ඇති වූ ඉඩම් සහ නිවාස ගැටලු

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත දැක්වෙන යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 2,6,9 සහ 10 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-

(i)    උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේදී නිසි ක්‍රමවේදයක් සකස් කිරීම

ශ්‍රී ලංකාවේ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී මෙතෙක් කල් ක්‍රියාත්මක වූ පක්ෂ පාට භේද ක්‍රමය නොසලකා සාධාරණය ඉටුකිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සැලසුම් කර එය ප්‍රතිපත්තියක් ලෙස සම්මත කිරීමට පියවර ගන්නා ලෙසත්, දේශපාලනඥයන් හමුවේ උපාධිධාරීන් හෑල්ලුවට පත් නොකිරීමට පියවර ගත යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(ii)    මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීම

මත්ද්‍රව්‍ය භාවිතයට  ඇබ්බැහි වූ  අති විශාල තරුණ පිරිසක් ඒවායින් අත්මිදීමට අපේක්ෂාවෙන් පසුවුවද, ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් හෝ ක්‍රමවේදයක් නොමැතිවීම ඔවුන් මුහුණ දෙන බරපතල ගැටලුවක්ව ඇති බැවින්,  ආගමික නායකයන්ගේ මූලිකත්වයෙන් බෞද්ධ ආධ්‍යාත්මික භාවනා ක්‍රම, දේශීය ඖෂධ ක්‍රමයන් හා අනෙකුත් ප්‍රතිකර්ම ක්‍රම ද උපයෝගී කරගනිමින් මත්කුඩු හා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(iii)    පුත්තලම දිස්ත්‍රික්කය ජාතික සහජීවනයේ හා සංහිඳියාවේ දිස්ත්‍රික්කය ලෙස නම් කිරීම

පුත්තලම දිස්ත්‍රික්කයේ බෞද්ධ, කතෝලික, මුස්ලිම් යන විවිධ ජන කණ්ඩායම් වසර ගණනාවක සිට ඉතා සාමයෙන් හා සමගියෙන් ජීවත්වන බැවින්, වත්මන් යහපාලන රජයේ ප්‍රමුඛ අරමුණක් වන සහජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙම දිස්ත්‍රික්කය ජාතික සහජීවනයේ හා සංහිඳියාවේ දිස්ත්‍රික්කය ලෙස නම් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(iv)    පෙර පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කිරීම

රටට වැඩදායී යහපත් පිරිපුන් පුද්ගලයන් බිහි කිරීමේ මූලික තෝතැන්න වන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් රට පුරා පැවතියද, ඉන් බහුතරයක් නිසි ප්‍රමිතියකින් හා ක්‍රමවේදයකින් තොරව පවත්වා ගෙන යාම හේතුවෙන්, දරුවන්ගේ පෞරුෂ වර්ධනයේත්, සාරධර්ම හා මූලික අධ්‍යාපන පෙළගැස්මේත්, ඍණාත්මක බවක් දක්නට ලැබෙන හෙයින්, පෙර පාසල් අධ්‍යාපන මධ්‍යස්ථානවල භෞතික පහසුකම් පවත්වා ගැනීම, සුදුසුකම් සහිත පාලිකාවන් පත් කිරීම, ඉගැන්වීමේ ක්‍රියාවලියේ ගුණාත්මකභාවය සුරැකීම සඳහා ඔවුන් පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීම මෙන්ම, මධ්‍යස්ථාන පාලිකාවන් සඳහා නිශ්චිත වැටුප්/දීමනා ලබාදීම මඟින් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය ඇති කිරීම තුළින් පෙර පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1339 ට 2017 ජූලි මස 25 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි